පාර්ලිමේන්තු දේශපාලනය මඩ ගොහොරුවෙන් මුදා ගැනිමට රජය සූදානම් - අග්‍රාමාත්‍ය මහින්ද

ජන 09, 2020

    පාර්ලිමේන්තුව දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි ස්ථානයක් බවට නැවත පත් කිරීමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ආන්දෝලනාත්මක හඬ පට සිද්ධියෙන් පසුගිය රජයේ දේශපාලඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කලේද යන්න පැහැදිලි වන්නේ යැයි ඔහු කියා සිටියේය.

    අද (09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කලේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.......

    "මේ තත්වය අනුව අධිකරණ තීන්දු පිලිගන්නෙ කොහොමද කියල අද වෙනකොට ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. මේ අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල බරපතලයි. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තිබෙනවා. අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වෙලා. දැන් අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ඒ කාලේ අපේ අයට සමහර නඩු දාලා තියෙන්නේ වාහන භාවිතා කිරීම, වාහන භාවිතා කරන්න අවසර දීම වගේ දේවල් වලට.
    මගේ අමාත්‍යංශ වල මුදල් ගනුදෙනු පිළිබඳව මේ දවස්වල සොයාගෙන යනවා. කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම තහවුරු වීමක් සිදුවෙලා නැහැ. සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කරල දාලා යැයි" ඔහු කියා සිටියේය.

    පසුගිය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයේ, නීතිපති දෙපාර්තමේන්තවේ සහ පොලිසියේ ඇතැමුන් සම්බන්ධ වූ බව පුවත්පත් කර්තෘවරුන් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චකාර වරයාට පැහැදිලි වගකීමක් තිබේ. මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් අධිකරණයේ පැත්තෙන් වහාම පියවරක් පියවර ගත යුතව තිබේ. අධිකරණයට පසුගිය සමය තුල පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ බලපෑම් එල්ල වීම පිළිබඳව මාධ්‍යවේදීන්ගේ විමසීමට තවදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයින් පාර්ලිමේන්තුවේ උසස් බව රැකීමට ක්‍රමානුකූලව පියවර ගත් බවයි. නමුත් පසුගිය කාලය තුළ මෙම තත්ත්වය කඩා වැටීමට ලක් විය. පාර්ලිමේන්තු දේශපාලනය මඩ ගහන තත්ත්වයෙන් ඉවත් කර සමාජයේ දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි පාර්ලිමේන්තුවක් බවට නැවත පත් කරීමට රජය සූදානම් බවද අග්‍රාමාත්‍ය වරයා මෙහිදී අවධාරණය කලේය.

    වැඩිවන සහල් මිල ගැන මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර වී මිලට ගැනීමට වැඩපිළිවෙළක් මේ වන විට සකස් කරමින් තිබෙන බවයි.

    pmmahinda1 px 900 20 01 09

    pmmahinda2 px 900 20 01 09

     

    Latest News