මහ මැතිවරණයේ දී පොහොට්ටු ලකුණ ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැහැ...... රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

දෙසැ 01, 2019

    ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීම වඩා සුදුසු යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි. සන්ධානයක් වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවත් එහිදී පොහොට්ටුව සලකුණ ඉවත් කිරීමට අවශ්‍යතාවක් පැන නොනඟින බවත් ඔහු අවධාරනය කළේය.

    නව අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව අද (01) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල  හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    පොහොට්ටුව සලකුණ අපට පමණක් පොදු සලකුණක් යැයි විශ්වාස කළ යුතු නැහැ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දායකත්වයක් ලබා දුන්නා යැයි අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

    ඉදිරි මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමග කොන්දේසි විරහිතව එක් වීමට අප කටයුතු කරන්නේ නැහැ. අපේ ජයග්‍රහණය ස්ථිරයි. ජයග්‍රහණය කළ පසු කොන්දේසි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා සහයෝගය ලබා ගැනීමට පෙර කොන්දේසි මොනවා දැයි නිසියාකාරව පරික්ෂා කිරීම කළ යුතු වෙනවා.

    මෙවර ජනාධිපතිවරණයේදී සුළු පක්ෂ රාශියක් අපට සහයෝගය ලබා දුන්නා. වෙනසක් අවශ්‍යය යන කාරණය ජනතාව ඔප්පු කළා. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අභියෝගයක් නොවනු ඇති.

    පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා කළේ ජනාධිපතිවරයා වෙනස් කිරීමට පමණක් නොව එම රජය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටයි. සුළුතර රජයක් වන අපට අපගේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී බහුතර රජයක් අවශ්‍ය වන බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News