නව ජනපතිට තවත් රටවල් රැසකින් සුභාසිංශන

නොවැ 19, 2019

    ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තවත් රටවල් රැසක් සුභාසිංශන එක්කර තිබේ.

    ඔවුන් කියා සිටින්නේ නව ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාව සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බවයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාවට ප්‍රශංසා කළේය. මානව හිමිකම්, වගවීම් හා ආරක්ෂක ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා කැපවීම ශක්තිමත් කිරීමට එක්ව ක්‍රියා කිරීමට සූදානම් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

    පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කළේය. නව ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාව සමග සමීපව ක්‍රියා කිරීමට පකිස්තානය අපේක්ෂා කරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ. දෙරටේ ජනාතවගේ ප්‍රගතිය හා සෞභාග්‍ය උදෙසා සමීප සබඳතාවක් මෙන්ම අප දෙරටේ සහෝදර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බවයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය ද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාවට හා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුභාසිංශන පිරිනමයි. ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව පිළිබඳ දෙරටේ සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට අපේක්ෂා කරන බවයි, නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාවරයා වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 12:43

    Latest News