ජනතා මුහුණ දෙන අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම අත් හැරීමේ සුදානමක් නැහැ.....අනුර කුමාර (වීඩියෝ)

නොවැ 18, 2019
  • රටත්, මේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්නොහරින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අපේක්ෂා කළ ප්‍රතිඵලය තුළ නොමැති වුවත් ජනතාවට ගත යුතු මාවත තම කණ්ඩායම විසින් පෙන්වා දුන්  බව ඔහු කියා සිටියේය. බත්තරමුල්ල අවකාශ මධ්‍යස්ථානයේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා.........

    අපිට අපේක්ෂාසහගත ඉලක්කයක් තිබුණා. ජනාධිපතිවරණයට ප්‍රධාන කඳවුරු දෙකක් පෙළ ගැසී ඇති වෙලාවක මැතිවරණ ව්‍යාපාරය කෙතරම් දුෂ්කරද, අසීරුද යන්න අපි හොඳින්ම දැන සිටියා. ඒ බව දැනගෙනමයි අපි මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වුණේ. අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. මෙම මැතිවරණ ප්‍රතිඵලය තුළ නොමැති බව පැහැදිලියි. ලංකාවේ මෙතෙක් පැවති මැතිවරණ ව්‍යාපාර තුළ විකට ජනක, නාඩගම්කාරී වේදිකා අපි දැක තිබෙනවා. එවැනි තත්වයක් තුළ තමයි අපි රට ගොඩනැගීම පිළිබඳ සංවාදයත්, මේ රට ගොඩගැනීම පිළිබඳ අසීරුතාවයත්, ජනතාව මුහුණ දී තිබෙන ගැටලු සහ එය විසඳා ගැනීම සඳහා තිබෙන මාවතත් අපි ඉතා හොඳින් ජනතාවට පෙන්වා දුන්නා. ප්‍රතිඵලය කවරක් වුවත් අපි විශ්වාස කරනවා මේ රටටත් රටේ ජනතාවටත් ගත යුතු මාවත වන්නේ, අප විසින් පෙන්වා දෙන ලද මාවත බවයි.

    ආර්ථික සංවර්ධනය සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා, යහපත් සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා, සිංහල-දෙමළ-මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කිරීම සඳහා, රටේ හා මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇති මාවත ජාතික ජන බලවේගය විසින් පෙන්වා දෙන ලද මාවත පමණක් බව අපි විශ්වාස කරනවා. රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුත් රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් අපි නොසැලී සටන් කරන බවට අපි සපථ කරනවා. ඒ වෙනුවෙන් ඉදිරියට එන බව මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා.

    ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය තුළ පුළුල් බලවේගයක් නිර්මාණය කරගැනීමට අපට හැකියාව ලැබුණා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාධරයන්, කලාකරුවන්, සාහිත්‍යධරයන්, වෘත්තීයවේදීන් ආදීන් විශාල පිරිසකගෙන් සමන්විත බලවේගයක් අප නිර්මාණය කර ගත්තා. මා විශ්වාස
    කරනවා එම බලවේගය කවරදාවත් තමන්ට කිසිවක් අපේක්ෂා කරන ලද කණ්ඩායමක් නෙමෙයි. මේ රටත් මේ රටේ ජනතාවත් මුහුණදී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ගෙන් මේ රට ගොඩගැනීම සඳහා වූ අවංක වුවමනාවක් ඔවුනට තිබුණා. ඔවුන් දිවා රෑ නොතකා ගම්, නගරවල ඇවිදිමින් පුරවැසියන් මුණගැසෙමින් මේ දේශපාලන කර්තව්‍යය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. ජාතික ජන බලවේගය ලෙස ඒ සියලුම දෙනාට අප ස්තූතිවන්ත වෙනවා.

    මේ මැතිවරණ ව්‍යාපාරය තුළ තීව්‍ර බෙදීමක් සටහන් වුණා. එවැනි තීව්‍ර බෙදීමක් තුළත් ලක්ෂ 04කට අධික ජනතාවක් අප කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ සියලු ජනතාවට අපි ස්තූතිවන්ත වෙනවා. එපමණක් නෙමෙයි. ඔවුන් අප කෙරෙහි විශ්වාසය තබා, ප්‍රකාශ කරන ලද ඡන්දයේ ගරුත්වය, වටිනාකම අප විසින් ලබා දෙන බවටත් ආරක්ෂා කරන බවටත් සහතිකයක් ලබා දෙනවා.

    නැවත වරක් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටීමට තිබෙන්නේ දේශපාලනයේ හැරවුම්. පසුබැසීම්, ව්‍යාකූල තත්වයන් ඇතිවීම් ඕනෑ තරම් ජීවිත කාලය තුළ අප විසින් අත්විඳ තිබෙනවා. කෙසේ වුවද ඒ හැම මොහොතකම යළි යළිත් අප ශක්තිමත් වෙමින්, ධෛර්ය ලබාගනිමින්, යළි යළිත් මාවත හොඳින් විවෘත කරගනිමින් මේ රටත් මේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්නොහරින බව මේ රටේ පොදු ජනතාවට අප ප්‍රකාශයට පත් කරනවා යැයි ඔහු තියා සිටියේය.

    anurakumara1 900px 19 11 18

    ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ හර්ෂණ නානායක්කාර

    මැතිවරනයේදී අපි ඡන්ද පදනම අතින් යම් පසුබෑමකට ලක්වුණත්, අපේක්ෂා කළ මට්ටම අපට නොලැබුණත් සෑහෙන සංවිධාන ප්‍රමාණයක් අප වටා ඒකරාශි වී තිබෙනවා. මේ සංවිධාන සමග ජාතික ජන බලවේගය ගොඩනැගුණේම ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය, ජාතිවාදයට එරෙහි, දූෂණයට වංචාවට එරෙහි කඳවුරක් ලෙසයි. ඒ අරමුණ කරා යාමට මෙතැන සංවිධාන 34කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනවා. මෙතැනදී අප ලබපු විශාලම ජයග්‍රහණය තමයි, විවිධ වෘත්තික කණ්ඩායම්, සිවිල් සංවිධාන. දේශපාලන ක්‍රියාධරයන් එක වේදිකාවකට කැඳවීමට සමත්වීම. මේ ගොඩනැගුණු එකතුවම ජයග්‍රහණයක් යැයි ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 20:16

    Latest News