නාවික යුධ නීති පිළිබඳ ආසියා-පැසිෆික් සම්මන්ත්‍රණය නොවැ. 19 - 21

නොවැ 18, 2019

    සාගරය ආශ්‍රීත නාවික කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිමේ අරමුණ ඇතිව කලාපයේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරින් කොළඹදී රැස් වේ.

    නාවික සංග්‍රාමික කටයුතු වලට අදාල ජාත්‍යන්තර නීති පිළිබඳව සාකච්ඡා කෙරෙන 06 වන ආසියා - පැසිෆික් සම්මන්ත්‍රණය 2019 නොවැම්බර් මස 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, මෙවර සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව සංවිධානය කරනු ලබයි.
    මෙම සම්න්ත්‍රණය සඳහා බංගලාදේශය, කාම්බෝජය, චීනය, ෆිජී, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, නැගෙනහිර ටිමෝරය, වියට්නාමය සහ ශ්‍රීලංකාව නියෝජනය කරමින් නාවික නිලධාරින් 26 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතය.
    මෙම සම්මන්ත්‍රණය පිළිබඳව අදහස් පලකළ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ප්‍රකාශ කර සිටියේ නීත්‍යානුකූල ලෙස නාවික කටයුතුවල නිරත වන පාර්ශවයන් හට අවැසි ආරක්‍ෂිත සාගර කලාපයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් වර්තමානය වන විට අප අභියෝග රාශියකට මුහුණදෙන බවයි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නාවික හමුදාධීපතිතුමන් මෙම සම්මන්ත්‍රණයේ ඇති සුවිශේෂිත්වය අවධාරණය කරමින්, වර්තමානයේදී සාගරික ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම්, මුහුදු මංකොල්ලකෑම් මැඩපැවැත්වීම, මිනිස් ජාවාරම පිටුදැකිම, නීති විරෝධී ධීවර කටයුතු වැලැක්වීම, සාගර දුෂණය පිටු දැකීම, දේශ සිමා ආරක්ෂාව වැනි විවිධාකාර සාගරික මෙහෙයුම් වල නිරතවන විවිධ රටවල නාවික නිලධාරින්ට තමන් මුහුණ දෙන ගැටළු සාකච්ජා කර විසඳුම් සෙවිම සඳහා මෙන්ම නාවික සංග්‍රාමික කටයුතුවලට අදාල ජාත්‍යන්තර නීතිය බලාත්මක කීරීමේ ගැටළු සහ අභියෝග සාකච්ඡා කිරිමට ද මෙම සම්මන්ත්‍රණයෙන් කදිම අවස්ථාවක් උදාවනු ඇති බවටත් විශ්වාසය පලකරන ලදී.


    මෙවර සම්මන්ත්‍රණයේ “නාවික යුධ කටයුතුවලට අදාල නීතිය” (ජාත්‍යන්තර මනුෂිය නීතිය) යන තේමාවට අනුව නාවික සංග්‍රාමික තත්වයක් තුල පැනනගින සංකීර්ණ අභියෝග මෙන්ම සාගරය අශ්‍රීත මානුෂිය ක්‍රියාකාරකම් පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබේ.
    සම්මන්ත්‍රනය පිලිබඳව අදහස් පලකළ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික රතු කුරුස කමිටු නියෝජීත පිරිස භාර ප්‍රධානී, ලූකස් පෙට්‍රිඩිස් මහතා ප්‍රකාශ කර සිටියේ කලාපයේ සහ ඉන් පිටත එක් එක් රටවලට අදාළ කලාපීය සාගරික ගැටුම් සහ ආරක්ෂාව පිළිබඳ ගැටළු වර්ධනයවී ඇති පසුබිමක් තුල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බවයි. තවද, ආසියා - පැසිෆික් කලාපයේ වාර්ෂික අංගයක් බවට පත්ව ඇති මෙම සම්මන්ත්‍රණයට, නාවික සංග්‍රාමික කටයුතු පිළිබඳ ජාත්‍යන්තර නීති නියාමනය කරනු ලබන ප්‍රමුඛ ආයතනයක් ලෙස ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට සම සත්කාරකත්වය සැපයීමට හැකිවීම සුවිශේෂි අවස්ථාවක් බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.
    2014වර්ෂයේදී මෙම සම්මන්ත්‍රණය ප්‍රථම වරට සිංගප්පූරුවේදී පැවැත්විමෙන් පසුව තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ චීනය යන රටවල මෙම සම්මන්ත්‍රණය පවත්වා ඇත.

    Latest News