ජනපති, සේනාධිනායක, ආරක්ෂක ඇමති ලෙස රටත් ජනතාවත්, දරු පරපුරත් රැකීමට කැපවෙනවා..ජනපති (වීඩියෝ)

නොවැ 18, 2019
  • ජනාධිපති,ත්‍රිවිධ හමුදා සේනාධිනායක හා ආරක්ෂක ඇමති ලෙස රටත් ජනතාවත් දරු පරපුරත් ආරක්ෂා කිරීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කරයි.

    ඒ අනූව නව ජනාධිපති ලෙස පත්වීමෙන් පසු තමා විසින් රජයක් පිහිටුවමින් රටේ ආර්ථික සහ ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින්...

    ශ්‍රී ලංකා රාජ්‍ය වංශයේ ශ්‍රේෂ්ඨ නරවිරුවෙකුගේ ප්‍රතිමාව අභියස සිට ජාතිය ඇමතීමට මට අවස්ථාව ලැබී ඇත්තේ, මේ රටේ බහුතර ජනතාවක් මට ලබාදුන් ජනවරම නිසයි. අද මා ඔබ හමුවන්නේ අපි හැමෝම ආදරය කරන මේ මව්බිමේ විධායක ජනාධිපතිවරයා,සේනාධිනායකයා මෙන්ම ඔබේත්, ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂක ඇමති ලෙස වගකීම භාරගනිමින්. මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ අපේ රටේ සිවුදිග වැඩවසන සංඝරත්නය මට ලබාදුන් ආශිර්වාදය නිසයි. මේ ජයග්‍රහණයේ බහුතර බලය සිංහල ජනතාව වන බව අප මුල සිට දැන සිටියා. සිංහල ජනතාවගේ බහුතර බලයෙන් ජනපති වීමට හැකිබව මා දැන සිටියාත් මා දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය මා අපේක්ෂා කළ අන්දමට තිබුණේ නැහැ. එහෙත්, මා ඔබේ ජනාධිපති ලෙස ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයින් වශයෙන් මා සමග එක්වන ලෙසයි. මාගේ ජයග්‍රහණයට ඡන්දය භාවිතා කළ සියළුම දෙනාට මේ අවස්ථාවේ ගෞරවය හා ස්තූතිය පුදකරනවා. මා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළත් නොකළත් ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කරමින් අනෙක් අපේක්ෂකයන්ට ඡන්දය භාවිත කළ සැමට ද මගේ ගෞරවය පිරිනමනවා.

    දකුණේ ප්‍රමුඛ බෞද්ධ පවුලකින් පැවත එන මා අධ්‍යාපනය ලැබුවේ ද ප්‍රධාන බෞද්ධ පාසලක් වන ආනන්ද විද්‍යාලයෙන්. ඒ නිසා හැම විටම මගේ සිතුවිලිවලට බෞද්ධ ගතිපැවතුම් ඇතුළත්වී තිබෙනවා. බෞද්ධ දර්ශනය තුළ හිමිවන්නේ නීතිය, සාධාරණත්වය වැනි යුක්තිගරුක ධර්මතාවයන්. සියලුම ජාතිකයන්ට සියලුම ආගමිකයන්ට ක්ෂේම භූමිය වූ පාලන තන්ත්‍රයක්. මගේ ධුර කාලය තුල බෞද්ධාගම රැකීමටත් පෝෂණය කිරීමටත් ඇප කැපවි කටයුතු කරනවා. වසර දහස් ගණනක් පැවත එන සිංහල උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ පාරම්පරික සිරිත් විරිත් සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමය ශක්තිමත් වූ ශ්‍රී ලංකාවේ 5 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ස්තූතිය පුදකරනවා. සුබ උපන්දිනයක් වේවායැයිද ඔබතුමාට මම ප්‍රාර්ථනා කරනවා. දැන් අපට ඇත්තේ ජාතියක් වශයෙන් එකට එක්ව මේ රට ගොඩනැගීමේ කාලයයි. මේ ජනවරම මට ලබාදී තිබෙන්නේ සෞභාග්‍ය දැක්ම නමැති ප්‍රතිපත්ති හරහා ජනතාව විසින් ජනතාව වෙනුවෙන් කේන්ද්‍රීය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහායි. එය මේ රටේ ඒකීයත්ව ස්වෛරීත්වය, ආරක්ෂාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළයි. මේ රටේ ජීවත්වන සියලුම පුරවැසියන්ගේ අපේක්ෂා ඉටුකරන වැඩපිළිවෙළයි. අනාගත පරපුරට සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන වැඩපිළිවෙලයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කර තිබෙන සියලු කරුණු මගේ ධුර කාලය තුල ඉටු කිරීමට මා බැඳී සිටිනවා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික කටයුත්තක් ලෙස මා සලකනවා.

    අපේ මවුබිම ත්‍රස්ත බියෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්,සොර බියෙන්,මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් හා කාන්තා හා ළමා හිංසනයෙන් තොර රටක් බවට යළි පත්කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරනවා. අපි සෑම රටක් සමගම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වනවා. ලෝක දේශපාලනය තුළ විවිධ ජාතීන්ගේ බල අරගලවලට මැදිහත්වීමට අපට අවශ්‍යතාවක් නැහැ. අපි සමග කටයුතු කිරීමේ දී අපේ රටේ ස්වෛරීත්වය හා ඒකීයත්වයට ගරු කරන ලෙස සියලු රටවලින් ඉල්ලීමක් කරනවා. නීතියේ ආධිපතිත්‍යයට ගරු කරන සමාජ සාධාරණත්වයට සහ දූෂණයෙන් තොරව පාලනය ගෙන යෑමට කටයුතු කරනවා. 21 වැනි ශත වර්ෂයට අපේ රට මුහුණ දීමට හැකි වන පරිදි ජනතාව පෙළ ගැස්වීමට රටේ සෑම ක්ෂේත්‍රයකට තාක්ෂණය ස්ථාපනය කරනවා. ජනාධිපතිවරයා වශයෙන් ඒ අනූව මාගේ වගකීම වන්නේ සියලු දෙනා වෙනුවෙන් සේවය කිරීමයි..

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 11:57

    Latest News