ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්ත්‍රවාදය එක් තැන යයි - අගමැති

නොවැ 09, 2019

    පිටු 80 කින් යුතු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය සඳහන් වී ඇත්තේ එකම එක තැනක පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. 

    එමගින් පිළිබිඹු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඔවුන් තුළ කැපවීමක් හෝ විශ්වාසයක් හෝ නොමැති බව යැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) මාළිගාවත්ත සහ කෙසෙල්වත්ත ප්‍රදේශයන්හි පැවැති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළිවලට සහභාගී වෙමිනි.

    තමන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කළ සියල්ල වෙඩි උණ්ඩයෙන් මර්දනය කළ රාජපක්‍ෂ රෙජීමය මෙරට ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පාගා දැමූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, එවන් පීඩාකාරී සහ අඳුරු යුගයකට යළි රට ගෙන යාමට ඉඩ දිය යුතු නැති බව පෙන්වා දුන්නේය.

    ඊයේ මැද කොළඹ මැතිවරණ කොට්ඨාශයේ මාළිගාවත්ත සහ කෙසෙල්වත්ත ප්‍රදේශයන්හි පැවති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ නීතිය හා සාමය තමන් අතට ගෙන ක්‍රියා කළ අධිපතිවාදී කල්ලියකට රටේ බලය යළි අත්පත්වීම වළක්වා, වත්මන් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය තවදුරටත් ශක්තිමත් කර, ඉදිරියට ගෙන යාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන ලෙසය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...

    "2015 බලයට පැමිණි අපේ ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළා. ඒ රාමුව ආරක්‍ෂා කරමින් ඉදිරියට ගෙන යෑම අපේ අරමුණයි. නමුත් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සම්බන්ධව කුමක්ද කියන්නේ. ඔහු ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 80 ක් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය තිබෙන්නේ එකතැනක පමණයි.

    අප ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ආරක්‍ෂා කරනවා ද? ඒවා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවා ද? එසේත් නැතිනම් එයට විකල්පයක් ගෙන එනවා ද? සුදුවෑන් වැනි පැහැරගෙන යෑම් නතර කරනවා ද? මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම නතර කරනවා ද? අධිකරණය ස්වාධීනත්වය ආරක්‍ෂා කරනවා ද? ජනතාව තුළ මතු වන මේ ප්‍රශ්නවලට ගෝඨාභය රාජපක්‍ෂ පිළිතුරු ලබාදිය යුතුයි.

    මේ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගැනීමයි. ඒ ගැන කිසිවක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට නැති නම් එවැනි අයෙකුට ඔබේ ඡන්දය ලබාදීමෙන් ඵලක් තිබෙනවා ද? මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන නිසි වැඩපිළිවෙළක් ඇති සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙනවා ද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර යළිත් රට අඳුරු යුගයකට ගෙන යෑමට සූදානම් වන ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය දෙනවා ද කියා ඔබ තීරණය කළ යුතුයි."

    මෙම අවස්ථාවන්වලට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, මැද කොළඹ සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්, මැද කොළඹ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ෆයිරූස් හාජ්ජියා, නව සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පකෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගිවී සිටියහ.

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 15:17

    Latest News