කටුනායක කැලිකසළ බහාලුම් සම්බන්ධ නඩු තීන්දුව දෙසැ.13

නොවැ 04, 2019

    විදේශවල සිට ආනයනය කර දැනට කොළඹ වරාය සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ රඳවා තිබෙන කසළ හා අපද්‍රව්‍ය අඩංගු බව කියන බහලුම් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.අධිකරණය විසින් මෙම නියෝගය කළේ විදේශවල සිට කැලිකසල ආනයනය කිරීම වැළැක්වීමේ ියෝගයක් රජය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේදී.

    මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු දක්වමින් මෙම ප්‍රශ්නගත බහලුම් තුළ අඩංගු ද්‍රව්‍ය පරික්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් තමන් සතුව නොමැති බව රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තා කර ඇති බවයි.

    එම අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විමසා සිටියේ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ එම පහසුකම් නොමැති නම් ඒවා පරික්ෂා කළ හැකි පහසුකම් තිබෙන්නේ කුමන ආයතනයක දෑයි විමසා සිටියේය. එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට නියම කළ අතර ඉන් අනතුරුව ප්‍රශ්නගත බහලුම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 13 දා ප්‍රකාශයට පත්කරන බව නියම කළේය.

    එතෙක් අදාළ බහලුම් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දිගටම බල පැවැත්වෙන බවත් එම තහනම් නියෝගය පැවතියද අදාළ බහලුම් වලින් සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදුකිරීමට රජයේ විමර්ශන අංශ වලට බාධාවක් නොමැති බවත් විනිසුරු මඩුල්ල අවධාරණය කර සිටියේය.

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 14:48

    Latest News