විදේශීය කැලිකසළ ප්‍රතිඅපනයනයට නීතිමය බාධාවක් නැතැයි අධිකරණය කියයි

මාර් 04, 2020

    කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ රඳවා තිබෙන විදේශවලින් ආනයනය කළ කැලිකසල අඩංගු බහලුම් රට තුළ ප්‍රවාහනය කිරීම වළක්වාලමින් පනවා තිබෙන අධිකරණ තහනම් නියෝගය මගින් ඒවා ප්‍රති අපනයනය කිරීමේ කටයුතු වලට නීතිමය වශයෙන් බාධාවක් මතු නොවන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

    අභියාචනාධිකරණයේ සභාපති ඒ.එච්.එම්.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    විදේශවලින් කැලිකසල ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඉකුත් දා සලකා බැලූ අභියාචනාධිකරණය මෙරටට ආනයනය කර දැනට කොළඹ වරාය සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රඳවා තිබෙන කැලිකසල අඩංගු බහලුම් රට තුළ ප්‍රවාහනය කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    පසුගිය නඩු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා මෙම බහලුම් යළි ප්‍රතිඅපනයනය කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවත් දැනට අධිකරණය මගින් නිකුත් කර තිබෙන මෙම තහනම් නියෝගය එම කටයුතුවලට යම් බාධාවක් වී ඇති බව දන්වා සිටියේය.

    මේ හේතුවෙන් අදාළ තහනම් නියෝගය ඉවත් කරන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

    මේ සම්බන්ධයෙන් අද තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය මීට පෙර අදාළ බහලුම් රට තුළ ප්‍රවාහනය කිරීම වළක්වාලමින් අධිකරණය විසින් නිකුත් කළා තහනම් නියෝගය තුළින් එම කැලිකසල අඩංගු බහලුම් යළි විදේශවලට අපනයනය කිරීමට බාධාවක් එල්ල නොවන බව සඳහන් කළේය.

    අදාල බහලුම් යළි අපනයනය කිරීම සඳහා වූ සාකච්ඡා පවත්වා එම කටයුතු ඉදිරියට සිදුකරන ලෙස රජයේ නීතිඥවරයාට උපදෙස් දුන් අධිකරණය එම කටයුතු සම්බන්දයෙන් ගිවිසුමක් සම්පාදනය කර එහි ප්‍රගතිය මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.

    ඉන් අනතුරුව අදාළ පෙත්සම මැයි මස 4 වැනිදා කැඳවන ලෙසයි අධිකරණය නියෝග කළේ.

    Last modified on බදාදා, 04 මාර්තු 2020 11:49

    Latest News