ප්‍රතිවාදීන් දේශපාලන අරමුණින් පොලිස් නිලධාරීන්ගෙන් පළිගැනීම නින්දිත අසාධාරණ, ක්‍රියාවක් - ඇමති සජිත්

ඔක් 27, 2019

    දේශපාලන අරමුණු ගැන සිතා ප්‍රතිවාදීන් පොලිස් නිලධාරීන්ගෙන් පළිගැනීමට කටයුතු කිරීම ඉතා නින්දිත අසාධාරණ, ක්‍රියාවක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ කෑගල්ලේ, ගලිගමුව, බල්ලපාන නගරයේ පැවති ජන හමුවටඅද (26) දින එක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.....

    “සති කිහිපයකට පෙර පොලිස් සේවයේ නියුතු 90,000 කට වැඩි සේවක මහත්ම මහත්මීන්ට රුපියල් 20,000 ක ගමන් වියදම් දීමනාව ලබා දීමට අප කටයුතු කළා. ප්‍රතිවාදීන් දේශපාලන අරමුණු ගැන සිතා එම දීමනාව ලබා දීම නතර කළා. ඔවුන් පොලිස් සේවයට ලබා දෙන සැළකිල්ල සාධාරණද කියා අසනවා. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් පළිගන්න ක්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. අසාධාරණයි. මෙරට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 40,000 කගේ සේවය ස්ථිර කර විශ්‍රාම වැටුප් ලබා දුන්නේ අපේ රජයයි.

    සෑම රජයක්ම කෘෂිකර්මාන්තය නගා සිටුවන බවට ප්‍රකාශ කළද වසරින් වසර කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ලබා දෙන දායකත්වය අඩු වෙලා තියෙනවා. මෙරට සියලුම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අප ක්‍රියාත්මක කරන්නේ දේශිය නිෂ්පාදනය වැඩි කිරීමටයි. ගොවි ජනතාවට නොමිලේ පොහොර ලැබෙන විට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා යන වියදම අඩු වෙනවා. ඒ තුළින් ගොවි ජනතාවගේ ආදයම ඉහළ යනවා. තවද නිෂ්පාදන සඳහා අප සාධාරණ ස්ථාවර මිලක් ලබා දෙන විට ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ ගොස් ජන ජීවිතය උසස් වෙනවා. රටේ නිෂ්පාදන අතිරික්තය අපනයනය කරන, අපනයන කේන්ද්‍රිව ආර්ථිකයක් අප නිර්මාණය කරනවා. අපනයන කෙන්ද්‍රකරගත් ව්‍යාපාරිකයින්ට සුවිශේෂී සහන ලබා දීමට කටයුතු කරනවා. ගළිගමුව ප්‍රදේශයට මෙතෙක් කල් නොලැබුණු පොලිස් ස්ථානයක් සහ ක්‍රීඩාංගණයක් ලබා දීමට මම කටයුතු කරනවා.

    රට සංවර්ධනය කර ජනතා සේවය ඉටු කිරීම වෙනුවෙන් මන්සි වී, අධිෂ්ඨානශීලීව, ශක්ති සම්පන්න වැඩ පිළිවෙළ පිළිබඳව තමන් සිදු කරන ප්‍රකාශ ප්‍රතිවාදීන්ට අමිහිරි වචන වෙලා. ඔවුන් ඇතැම් මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාරය කර ජනතා මනස විකෘති කරමින් සිටිනවා. ඇතැම් මාධ්‍ය ආයතන කෙසේ හෝ තම අපේක්ෂකයා දිනවීමට අසාධාරණ ලෙස මඩ ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ට හිතවත් අපේක්ෂකයා දිනවා, ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට. අසාධාරණ ලෙස කටයුතු කරන එම ආයතනවල ඇති න්‍යාය පත්‍ර අප ඉදිරියේදී හෙළිදරව් කර ජනතාවට සත්‍ය ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා” යනුවෙන් ද පැවසීය.

    Last modified on ඉරිදා, 27 ඔක්තෝබර් 2019 20:38

    Latest News