එජාප නියෝජිතයින් 69කගේ සාමාජිකත්වය සම්බන්ධ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

ජූනි 08, 2021

    සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 69 දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    විජිත් මළල්ගොඩ, එල්ල.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කරමින් මෙම අභියාචනා පෙත්සම් සමග ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශ ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට පටහැනි ආකාරයෙන් ගොනු කර ඇති බව ප්‍රකාශ කළේය.

    එම නිසා අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව ගොනු කර නොමැති හෙයින් ඒවා සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥ පෙරේරා මහතා අධිකරණය ඉල්ලා සිටියේය.

    එම අවස්ථාවේදී පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ඉල්ලා අදාළ පෙත්සම් ඉල්ලා අස්කරගෙන ඒ වෙනුවට නව පෙත්සම් ගොනු කිරීම සඳහා අවසර දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ අභියාචනා පෙත්සම් 69 විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

    පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ පසුගිය මහ මැතිවරණයේදී තමන් සමගි ජන බලවේගය නැමැති පක්ෂයට සහය පළ කළේ යැයි චෝදනා කරමින් තම පක්ෂය සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි.

    තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීතියට පටහැනි බව පෙන්වා දෙන ඔවුන් ඊට එරෙහිව තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කලත් එය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවයි කියා සිටින්නේ.

    එම නිසා අදාළ අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කර තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම වැළැක්වීමේ නියෝගයක් අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.

    Latest News