ලේකම් සමයේ කාන්තාවන් 100 ක් දුෂණය වු ගෝඨාගේ රජයකදී කාන්තාවන්ගේ ඉරණම කෙසේවේ ද: සජිත්

ඔක් 25, 2019

    ප්‍රතිවාදී අපේක්ෂකයා බලයට පැමිණියහොත් මෙරට කාන්තා පරපුරට අත්වන ඉරණම සිතා ගත නොහැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ අද (25) දින මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුපිටිය නගරයේ පැවති ජන හමුවට එක්වෙමිණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දික්වැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයි. පී. නන්දසිරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝදර කන්ද කොට්ඨාශයේ නායක එම්. කේ. නිමල් ශාන්ත යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මෙම ජන හමුවට එක්වුහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.......

    “ප්‍රතිවාදි අපේක්ෂකයා ආරක්ෂිත රටක් නිර්මාණය කරන බව අද පවසනවා. නමුත් ඔහුට අමතක වෙලා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ පසුගිය රජය සමයේ ඔහුගේ පක්ෂයේ සිටින මන්ත්‍රීවරයෙකු කාන්තාවන් 100 ක් දූෂණය කිරීමේ උත්සවය සමරණ විට ප්‍රතිවාදී අපේක්ෂකයා ආරක්ෂක ලේකම් ලෙස කොහිද සිටියේ කියා. ප්‍රතිවාදී අපේක්ෂකයා බලයට පැමිණියහොත් මෙරට අහිංසක කාන්තා පරපුරට නැවත හිමිවන ඉරණම සිතා ගන්නට බැහැ. රට යන ගමනේ වෙනසක් ඇති කරන්නට කාලය එළඹිලා තියෙනවා. මම එන්නේ දේශය පාලනය කරන්න නෙවෙයි, දේශයට සේවය කරන්න. මේ ජනාධිපති තනතුර මට ආභරණයක්, උරුමයක් නොවෙයි. එය පොදු ජනතාවට, රටට සේවය කිරීමට පුළුවන් ශක්තිමත් ආයුධයක්. ආයුධයක් කියුවට එය මිනිස්සු විනාශ කරන්න යොදා ගන්න දෙයක් නවෙයි.

    ප්‍රතිවාදී අපේක්ෂකයා මෙන්, ජනතාව බීමට වතුර ඉල්ලන විට වෙඩි තියන්නේ නැහැ. ඉන්ධන සහනාධාරය ඉල්ලන විට, සේවක අර්ථ සාධක අරමුදල අවභාවිතා කිරීමට එරෙහිව ජනතාව පාරට බහින විට වෙඩි තැබිම, මර්ධනය, තර්ජනය කරන්නේ නැහැ. පසුගිය කාලයේ මෙන් මිනී මරු සංස්කෘතියක් තම රජය යටතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. ” යනුවෙන් පැවසීය.

    මෙම අවස්ථාවට මංගල සමරවීර, බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    Latest News