මහින්ද - ගෝඨාගේ බොරු අතේ පැල වෙන්නේ; බිලියන 900ක් සොයන හැටි කියන්න - හඳුන්නෙත්ති

ඔක් 13, 2019

    රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් බැරි මට්ටමක තිබියදී ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත්, ගොවීන්ට පොහොර නොමිලේ දීමටත් අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි රටට හෙලි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) ඉල්ලා සිටියේය.

    මෙම වැඩසටහන් ප‍්‍රායෝගිකව පිළිගත අන්දමින් ප්‍රකාශ කරන ලෙස ඔහු තවදුරටත් කියා සිටියේය.

    පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය.

    එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

    රටේ ආදායම රුපියල් බිලියන 2000යි. ණය පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 1800ක් අවශ්‍යයි. රට ගෙනියන්න ඉතිරි වෙන්නේ බිලියන 200ක් වෙද්දී ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහැරීමට බිලියන 100කුත් බදු කපාහැරිමට බිලියන 400කුත් පොහොර නොමිලේ ලබාදීමට බිලියන 400කුත් සොයාගන්නේ කෙසේද? ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින්න කතා කරන අය ඇත්තටම කළ යුත්තේ මුලින්ම මේ ආයතන මහ බැංකුවෙන් නිසි නියාමනයකට ලක් කිරිම යැයි ඔහු කියා සිටියේය.

    අපේ රටේ ජනතාව මේ ආයතනවල ණය උගුලකට අසුවීමට බලපාන ආර්ථික රටාව වෙනස් කළ යුතුයි. වඩාත් වැඩියෙන් මේ ණය උගුලේ සිරවී සිටින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න සහය දීමෙන් මේ ණය උගුළෙන් ගොඩ ගන්න පුළුවන්. ඒවාට ක‍්‍රමවේදයක් මේ අයට නැහැ. ඒක තිබෙන්නේ ජාතික ජනබලවේගය සතුව පමණනක්“ යැයි ඔහු තවදුරටත් පෙන්වා දුනී.

    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2019 18:09

    Latest News