අයහපත් කාලගුණයෙන් විපතට පත් ගාල්ලේ ජනතාවට කඩිනම් සහන සැලසීමට ඇමති වජිරගෙන් උපදෙස්

සැප් 25, 2019

    අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එමඟින් පීඩාවට පත් ගාල්ල දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදීය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3000ක් පමණ ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති අතර ඉදිරි කාලය තුළ මෙම සංඛ්‍යා ලේඛණ වෙනස් විය හැකි බවත්, නිවාසවලට බරපතළ හානි සිදු වී තිබිය හැකි බවත් දැන ගැනීමට ලබී ඇත. තවද ගාල්ල, බද්දේගම, යක්කලමුල්ල, නාගොඩ, තවලම, නෙළුව, නියාගම, ඇල්පිටිය, හික්කඩුව, ගෝනපීනුවල, බෙන්තර, බලපිටිය, වැලිවිටිය - දිවිතුර ප්‍රදේශවල පවුල් විශාල ප්‍රමාණයක් පීඩාවට පත් වී ඇති බැවින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ක්ෂේත්‍ර නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මකවිමට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් උපදෙස් දී ඇත.

    ගාල්ල දිස්ත්‍රික්කය තුළ ගිංගඟ කිලෝමීටර් 116ක් පමණ දුරක් ගලා බසින බැවින් ගඟ දෙපස ජීවත් වන ජන කොටස්වලට ආරක්ෂක ස්ථානවල සිට හා ආරක්ෂක වැඩපිළිවෙළට අනුරූපව කටයුතු කරන ලෙසද ගාල්ල දිස්ත්‍රික් ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියි.

    මෙම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහත්වරු සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයින් හා ආපදා කළමනාකරණ මණ්ඩල නිලධාරීහු සහභාගි වූහ.

    Latest News