බීඩි කොළ 1300kgක් කල්පිටියේ දී අල්ලයි

සැප් 18, 2019

    නීතිවිරෝධීව ඉන්දියාවේ සිට කල්පිටිය මුහුදු තීරයට රැගෙන ආ කිලෝග්‍රෑම් 1300කට වැඩි බීඩි කොළ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම බීඩි කොළ තොගය දකුණු ඉන්දියාවේ සිට බෝට්ටු 3කින් රහසිගතව මෙරටට රැගෙන විත් කල්පිටිය වෙරළට ගොඩබා ඇති අතර පසුව ඒවා ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි. ඒවා රුපියල් ලක්ෂ 90කට ආසන්න මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කල්පිටිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අද(18) අළුයම මෝහොත්තුවාරම දූපත් ප්‍රවේශ මාර්ගයේ වෙරළ තීරයේදී මෙම වැටලීම සිදු කර ඇත. කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට අයිති ලොරි රථයකින් මෙම බීඩි කොළ තොගය ප්‍රවාහණය සිදු කිරීමට සුදානම් වූ අවස්ථාවේ පොලිස් නිළධාරින් සැගවී සිට ඉතා සූක්ෂම අයුරින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. ලොරි රථයේ රියදුරු හා තවත් දෙදෙනකු පලා ගොස් ඇති අතර බීඩි කොළ මිටි පැටවීමට පැමිණි මාතර දික්වැල්ල පදිංචිකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රවාහණයට සුදානම් කර තිබු , ඉතා සුරක්ෂිතව අසුරා තිබූ විවිධ ප්‍රමාණයේ බීඩි කොළ මිටි 48 ක 1382kg හා 350gක ප්‍රමාණයක් තිබී ඇත. මෙම බීඩි කොළ තොගය මෙලෙස හොර රහසේ ඉන්දියවේ සිට ගෙන් වීම නිසා රුපියල් ලක්ෂ 50 පමණ තීරුබදු පාඩුවක් රජයට සිදුවී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අණාවරණය වී ඇත.


    සිද්ධිය සම්බන්ධව කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Latest News