ජනාධිපතිට ඕනෑම අවස්ථාවක ආයතන පවරා ගැනීමේ බලය පවතිනවා: අමාත්‍ය රුවන් (වීඩියෝ)

සැප් 11, 2019

    ජනාධිපතිතුමාට ඕනෑම අවස්ථාවක ආයතන පවරා ගැනීමේ බලතල පවතින බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    එහෙත්, ජාතික රූපවාහිනිය ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථයේ තබාගැනීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බව ඔහු පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සමීක්‍ෂණ වාර්තා අනුව 6 වැනි ස්ථානයේ පවතින බවයි.

    එහෙත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 6 වැනි ස්ථානයට පැමිණියේ 7 වැනි සහ 8 වැනි ස්ථානයේ සිටයි. ඒ අනුව පසුගිය කාලයේ සමීක්‍ෂණ වාර්තා අනුව, සමස්ත රූපවාහිනිය හා ප්‍රවෘත්ති අංශය සමීක්‍ෂණ වාර්තා අනුව ඉදිරියට පැමිණ තිබේ. වසරක කාලයක් ඇතුලත ජාතික රූපවාහිනිය ජාතික සහ ජාත්‍යන්තර සම්මානවලින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන 40කට අධික මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මාසිකව ඉල්ලා ඇතත්, එය කැබිනට් මණ්ඩලයේ දී ප්‍රතික්ක්‍ෂේප වූ බව සඳහන් කළේය.

    “විටින් විට ජාතික රූපවාහිනියට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා තිබෙනවා. ඒක මම දකින්නේ මහජනතාවට විශාල බරක් ලෙසයි. 2018 මිලියන 336ක බැංකු අයිරාවක් තිබිලා තියෙනවා. ඒකටත් ගෙවීම් කිරිමට මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම කරලා තියෙන්නේ 2019 මැයි මාසයේ දී. මීට පෙර භාණ්ඩාගාරයෙන් රූපවාහිනියට මුදල් දී තිබෙනවා. නමුත් දිගින් දිගටම ඒක කරන්න බැහැ. නමුත් රූපවාහිනි සංස්ථාවට මුදල් පිරිනමන්න මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුවා. නමුත් මංගල සමරවීර ඇමතිතුමත් කිව්වේ රූපවාහිනි සංස්ථාවට මිලියන 300ක්, 400ක් හැම මසකම ගෙවීමට නොහැකි බවයි“ ඔහු කියා සිටියේ.

    ජාතික රූපවාහිනියේ මූල්‍ය අර්බුදයක් ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා ඊට පිළියමක් ලෙස මෙම මුදල් ඉල්ලා ඇතැයි කියා සිටී. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මිලියන 30ක මුදලක් ලබාදෙන්නේ ද යන්න මාධ්‍යවේදියෙකු විමසූ පැනයට ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්. 

    “ ගුවන් විදුලියට අපි මුදල දෙන්නේ නැහැ“

    නමුත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මාස්පතා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 30ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා නොදැන සිටීම කණගාටුවට කරුණක්. ජාතික රූපවාහිනියට මාස්පතා මිලියන 40ක මුදලක් ලබාදීමට වූ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී පළ කෙරුණේ, විස්මිත අදහසක්. මූල්‍ය අර්බුදය උග්‍රවී ඇත්තේ 2014 සිට බව අමාත්‍යවරයා විසින් මෙහිදී පිළිගනු ලැබීය.

    සංස්ථා ඇතුලු රජයේ ප්‍රධානීන් පත්කිරීම විෂයෙහි සුදුසුකම් සළකා බැලෙන කමිටුවක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඇතැයි කී අමාත්‍යවරයා එය, අකර්මන්‍ය වී ඇතැයි සඳහන් කළා.

    මේ පිළිබඳ ජාතික රූපවාහිනියට ප්‍රකාශයක් කළ නිලධාරියෙකු කියා සිටියේ, එම කමිටුව අකර්මන්‍ය වී නොමැති බව එම කමිටුවේ අවශ්‍යතාව අනුව එහි කටයුතු යාවත්කාලීන කරමින් පවත්වාගෙන යන බව, සියලුම අමාත්‍යාංශ විෂයෙහි පත්කරන නිලධාරීන්ගේ සුදුසුකම් මෙම කමිටුවට යොමු කරන බව ඔහු පැවසීය. ඒවා පරීක්‍ෂා කොට තනතුරු සඳහා නිර්දේශ කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

    ඉහළ නිලධාරීන්ගේ කරුණු විමසා බැලීම කමිටුව විසින් සෑම අවස්ථාවකම සිදුකර ඇති බව කී එම නිලධාරියා, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවසන් පත්වීම සිදුකර ඇත්තේ, එම කමිටුවට ද නොදන්නා බව අනාවරණය කලේය. සභාපති තනතුරට අවසන් වරට යෝජනා කළ තැනැත්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

    “එතුමාට කලා උපාධියක් තියෙනවා. අධ්‍යක්‍ෂ මණ්ඩලයට හරහා එතුමාව පත් කෙරුවා යැයි ඔහු පෙන්වා දුන්නේ ඊට පිළිතුරු ලෙසිනි.

    මේ අතර ජාතික රූපවාහිනිය සම්බන්ධයෙන් තවත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආංශු මාරසිංහ මහතා....“ජාතික රූපවාහිනය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම අපි හෙලා දකිනවා“.

    පා.ම. වාසුදේව නානායක්කාර....“ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනිම මගින් කියා පාන්නේ එක්සත් ජාතික පක්ෂයත්, ජනාධිපතිවරයාත් අතර ඇති ගැටුමයි. එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරයට යොදව ගන්න ගත් උත්සාහය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් වළක්වා ගන්න ගත් උත්සාහයක්.

    අමාත්‍ය කබීර් හෂීම්....“ ඒක පවරා ගත්තේ ඡන්දයක් නිසා නොවෙයි ඒක පවරා ගත්තේ ජනාධිපතිතුමා විසින්. ඒක තවත් ආණ්ඩුවක්.

    පා.ම. මහින්ද යාපා....“ඒක මේ රජය ඇතුලේ තියෙන බල අරගලයේ තවත් එක් පැත්තක්. ජාතික රූපවාහිනිය ආන්ඩුව යටතේ තිබ්බත්, ජනපති යටතේ තිබ්බත් අපිට නම් දෙකම එකයි. මේකෙන් පෙන්වන්නේ දැඩි පරිපාලන අර්බුදයක්.

    චමීර පෙරේරා....“ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත්ත කියන්නේ වෙනත් කිසිවක් නොවෙයි ආණ්ඩුව යටතේම තිබෙන අමාත්‍යාංශයකට පවරාගත්ත බව කියන එකයි. මේක පවරා ගැනිමෙන් අති විශාල මාධ්‍ය මර්දනයකට මඟ කැපුවා කියන එක නම් පිළිගන්න බැහැ.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 09:11

    Latest News