අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් 8,000ක් බඳවා ගැණේ

සැප් 11, 2019

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අධ්‍යයන වර්ෂ දෙකක් සඳහා ශික්ෂණලාභීන් 8000ක් බඳවා ගැනීම මේ මස 25 වෙනිදා සිදුකෙරේ.

    තෝරාගනු ලැබු සියලු අයදුම්කරුවන් මෙම මස 20 වෙනිදාට පෙර තැපැල් මගින් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. 2016 හා 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යයන කණ්ඩායම් දෙකක් වශයෙන් විද්‍යාපීඨ 19 සඳහා මෙම බඳවා ගැනීම සිදුවේ.

    ඒ අනුව 2018/2020 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීම 2016 උසස් පෙළ ප්‍රතිඵල මත සිදුවේ. 2017 උසස් පෙළ ප්‍රතිඵල අනුව බඳවා ගනු ලබන්නේ 2019/2021 අධ්‍යයන වර්ෂය සඳහයි.

    ශික්ෂණලාභීන් ලෙස 8,000ක් බඳවා ගැනීම සිදුකෙරෙන්නේ විද්‍යාපීඨ ඉතිහාසයේ ප්‍රථමවරටයි. විද්‍යාපීඨ තුළ මේ ශික්ෂණලාභීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගැනීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    Latest News