UNP පාක්ෂිකයන්ගේ අරමුණු යහපත්: මහින්දට ඡන්දේ දෙන්නේ නැහැ හොරකම් කරන්න

සැප් 01, 2019

    ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමට නම් ජනතා විමුක්ති පෙරමුණ ගමේ ජනතාවගේ හදවත් දිනාගත යුතු බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    එය අභියෝගයක් ලෙස සළකා සියලු ජනතා නියෝජිතයන් කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන නියෝජිත හමුවට අද එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේය. එය පැවැත්වුණේ කොළඹ නගර සභා ශාලාවේදී “ගම රට කොළඹට“ යන තේමාව යටතේ එය සංවිධාන කර තිබිණ. පක්‍ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා...

    “අපේ රටේ සුවිශේෂි සන්ධිස්ථානයකට හරවන ජනාධිපතිවරණයක් බවට පත්වෙන එක නිසැකයි මේ මැතිවරණය. සැබැවින්ම මෙතෙන තියෙන්නේ අශිෂ්ටත්වයට එරෙහිව ශිෂ්ටත්වයේ කඳවුර පිළිබඳ සටනක් ඇරුණුකොට අන් කවරක් නොවේ. අපි මුහුණ දී තිබෙන ගැටලුව තමයි ජාතික දේශපාලනයට මොන තරම් උඩින් ශක්තිමත්ව සිටියත් අපි තාමත් ගමේදී අපි අත්පත් කරගත යුතු ජයග්‍රහණ අත්පත් කරගෙන නැහැ. ජයග්‍රහණය කළ යුතු තැන අනෙකුත් පාක්‍ෂිකයින් සමඟ පුළුල් සංවාදයක් අපි ඇතිකර ගත යුතුයි. කවුරුවත් එක්සත් ජාතික පක්‍ෂයට කතිරේ ගහන්නේ නැහැ ජනතාවට අසීමිත බදු බර පටවන්න කියලා. මහජනයගේ දේපොළ හොරකම් කරන්න කියලා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අරමුණු යහපත්. මහින්ද රාජපක්‍ෂ මහත්තයගේ කඳවුරට ඡන්දේ දෙන්නේ නැහැ හොරකම් කරන්න, නාස්ති කරන්න, ත්‍රාඩ වැඩ කරන්න, කුඩු ව්‍යාපාරවලට ඒ නිසා කවුරුවත් ඡන්දේ දෙන්නේ නැහැ. හැමදෙනාම ඡන්ද දෙන්නේ යහපත් ආණ්ඩු කරන අපේක්‍ෂකයට. හැබැයි පාක්ෂකයන්ගේ අපේක්ෂාවයි එම නායකයන්ගේ අපේක්‍ෂාවයි දෙකක්. ඒ නිසා ගමේ ඉන්න එක්සත් ජාතික පාක්‍ෂිකයා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයත් එක්ක රණ්ඩු කරගැනීමෙන් පළක් නැහැ. අපේ අභියෝගයවන්නේ ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ සරිලන පාලනයක් ගොඩනැගිය හැකි වන්නේ ජාතික ජනබලවේගය වෙත බලය අත්පත් කරදීමෙන් පමණක් කියන පණිවුඩය ඔවුන්ට ගෙනියනවා“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 01 සැප්තැම්බර් 2019 19:23

    Latest News