“බතික් ලංකා ජාතික ප්‍රදර්ශනය” (වීඩියෝ)

අගෝ 29, 2019

    රට, ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතැමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර යේ අද ආරම්භ කෙරුණු “බතික් ලංකා ජාතික ප්‍රදර්ශනය“ විවෘත කිරීමට එක්වෙමින්.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....

    “බතික් වෙළෙඳ පොළ අපි තව දියුණු කරන්න ඕනේ. මේක දියුණු කරන්න අපි ආධාර, උපකාර දෙන්න ඕනේ. තාක්‍ෂණය ගැන, මෝස්තර ගැන ඒවා ලබාදෙන්න තමයි අපිට දියුණු වෙන්න ඕනේ. යුරෝපයේ තියෙන මෝස්තර, අමෙරිකාවේ තියෙන ඒවා මේ හැම එකටම හරියන විධියට වෙළෙඳ පොළ ඇති කරලා ඒකට යනවානම්, උසස් වෙළෙඳ පොළට යන්න ඕනේ. දයා ගමගේ ඇමතිතුමාට එතුමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය බාරදුන්නා. කුඩා, කුඩා කර්මාන්තවලට පණ දීලා කර්මාන්ත දියුණු කරලා අපනයනයට හරවන්න. අපේ රට අපි අපනයන ආර්ථියකට දැන් පරිවර්තනය කරන්න තියෙනවා. අපේ අපනයන කර්මාන්ත දියුණු වෙලා අපේ ආදායම් වැඩිවෙනවා නම් රටේ ආදායම් වැඩිවෙනවා. රටේ ආදායම වැඩි වුණාම ඔබේ ආදායම වැඩි වෙනවා. අන්න එතෙන්නයි අපි යන්නේ. ලෝකයේ දියුණු වුණු හැම රටක්ම අපනයන කර්මාන්තයෙන් දියුණු වුණේ. අපිත් දැන් ලැහැස්තියි ප්‍රාග්ධන සියල්ලම ඊළඟ අවුරුදු කිහිපයේ ලබලා දෙන්න. දේශීය ආයෝජකයන් ශ්‍රී ලංකා ආයෝජන අපි ශක්තිමත් කරන්න ඕනේ. අපිට විදේශ ආයෝජන ලබාගන්න තියෙනවා. අපනයන ආර්ථිකයට ගියහම අපිට තියෙන ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා. අපේ ආනයනය අපනයනට වඩා වැඩියි. හැමදාම අපිට ණය ගන්න බැහැ. මේ පරතරය නිසා. අපේ පරතරය අඩුකරලා අතිරික්තයකට අපි යන්න ඕනේ. එන අවුරුදු පහේදී ආරම්භ කරලා විශාල කර්මාන්ත ශාලා පමණක් ‍නෙමෙයි කුඩා ව්‍යාපාර, සංචාරක ව්‍යාපාර, විශාල හෝටල් මේ සියල්ල උවමනායි. හැම අංශයෙන්ම මුදල් ලබාගන්න. අන්න එහෙම ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරලා, ඒ වගේම අහස් යානා ගමනා ගමනය වැඩි කරන්නයි බලාපොරොත්තු වන්නේ. මේකයි අද මේ රටේ තියෙන මූලික ප්‍රශ්නය. හුඟක් අය දේශපාලනය කරන්නේ රට, ජාතිය බේරගන්න. රට ජාතිය බේරගන්න නම් අපනයන ආර්ථිකයට යන්න ඕනේ“ යැයි අගමැතිවරයා පැවසීය.

    අමාත්‍ය දයා ගමගේ....

    “තව වැඩිදුර පුහුණු කිරීම් අපිට අවශ්‍ය කරනවානම් අපි දැන් ඉන්දුනිසියාවෙන්, ඒ වගේම තායිලන්තයට අපි කණ්ඩායමක් යැව්වා. තායිලන්තයේ බීඒඒසී බැංකුවත් එක්ක අපේ අමාත්‍යංශය ගිවිසුමක් අත්සන් කළා. එතකොට කණ්ඩායමක් තායිලන්තයෙන් ගෙනල්ලා අපි ඔවුන්ගේ තාක්‍ෂණයත් ඕගොල්ලන්ට කියලා දෙනවා. අනිවාර්්‍යයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයේදී අපි එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරනවා. 2025 වෙනකොට තමුන්නාන්සේලා බලාපොරොත්තු වන මේ පොහොසත් රට අපි හදනවා. ඒ පොහොසත් රටේ තමන්ගේ නිෂ්පාදන දියුණු කරගන්න අපේ අමාත්‍යංශය යටතේ අපි මුදල් දෙන්න ලැහැස්තියි. අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ අපි අඩු පොලියට ණය දෙන්න ලැහැස්තියි. බතික් කර්මාන්තය දියුණු කළොත් මේකෙන් අපිට විශාල වශයෙන් අපිට ලාභයක් උපද්දන්න පුලුවන්. වෙළෙඳ පොළක් අපි අනිවාර්්‍ය යෙන්ම නිර්මාණය කරනවා“ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සංවිධාන කරන ප්‍රදර්ශනයේ තේමාව “පාට කරන රැකියාවෙන්-පාට පිරුණු ජිවිතයක්“ යන්නයි. දිවයිනේ බතික් කර්මාන්තකරුවන් 60 කට වැඩි පිරිසක් ප්‍රදර්ශනයට එක්ව සිටී. ප්‍රදර්ශනය විවෘත කළ අග්‍රාමාත්‍යවරයා, බතික් නිර්මාණ නැරඹීමට ද එක්විය. 60 දශකයේ පමණ ආරම්භ වූ මෙරට බතික් කර්මාන්තය, 70 දශකය වනවිට ඉහළ ආදායම් ලබමින් වැඩි සංචාරක ආකර්ශනයක් දිනා ගත්හ. ප්‍රදර්ශනය සංවිධාන කෙරුණේ, දෙස්-විදෙස් වෙළෙඳ පොළ සඳහා මෙරට බතික් කර්මාන්තය යළි නඟා සිටුවීමේ අරමුණින්. ප්‍රදර්ශනයට, විශේෂ නිපැයුම් රැසක් ඉදිරිපත් කර තිබේ. ඉන්දුනිසියාවේ බතික් ශිල්පීන් ද වෙළෙඳ කුටි ඉදිරිපත් කර ඇති අතර, විලාසිතා දැක්මකින්ද සමන්විත ප්‍රදර්ශනය හෙට අවසන්වේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 22:57

    Latest News