අවිනිශ්චිත වාර්තා එවිමෙන් වලකින ලෙස නීතිපති පොලිස්පතිට දන්වයි

අගෝ 23, 2019

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා අවිනිශ්චිත වාර්තා බවට පෙනී යන බව නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිට දැනුම් දී තිබේ.

    පසුගිය රජය සමයේ සිදුවු ආන්දෝලනාත්මක සිද්ධීන් හි විමර්ශන ප්‍රමාදය සම්බන්ධව ද කරුණු දක්වමින් අද (23) ලිපියක් යොමු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.

    පසුගිය රජය සමයේ සිදුවූ වසීම් තාජුඩීන් සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මුතූර් ඇක්ෂන් ෆාර්ම් රාජ්‍ය නොවන සංවිධානයේ 17 දෙනෙකු ඝාතනය, පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ වාර්තා අවිනිශ්චිත වාර්තා බවට හැගී යන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

    නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ මෙම අවිනිශ්චිත වාර්තා මගින් අසතුටුදායක තත්වයක් උද්ගතව ඇති බවයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ උධෘත මේ වනතෙක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර නොමැති බව පිලිගෙන ඇති අතර, එම අපරාධය විසඳීම සඳහා කෙතරම් කාලයක් ගතවන්නේ ද යන්න ද නිශ්චිත සඳහන්ව නොමැති බව නීතිපති යොමු කළ ලිපියේ සඳහන් වේ. මුතූර් ඇක්ෂන් ෆාර්ම් රාජ්‍ය නොව සංවිධානයේ ද 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදු කිරීමට ඇති බැවින් නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශ කළ නොහැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇති බව නීතිපති පෙන්වා දෙයි.

    තාජුඩීන් ඝාතනයේ විමර්ශන 2015 පෙබරවාරි 28 වන දින විමර්ශන ආරම්භ කර ඇති බවත්, එය ඉතා සංකීර්ණ හා ගැඹුරු විමර්ශනයක් බැවින් නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ද එහි සඳහන් වේ. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ 2016 වසරේ අප්‍රේල් 6 වැනිදා ආරම්භ කර ඇති අතර, විමර්ශන ඉදිරි මාස දෙක තුළ අවසන් කිරිමට හැකිවන බව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වේ. පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් කිරීමට ගතවන කාල සීමාව දැනුම් දී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් අනාවරණය කර ඇති සාක්ෂි අපැහැදිලි බවත් තාජුඩීන් සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පැහැදිලිව අනාවරණය කර නොමැති බව ද නීතිපති පෙන්වා දෙයි. මෙම අපරාධ සිද්ධි සම්බන්ධ විමර්ශන සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කර නිසි උපදෙස් මත විමර්ශන කඩිනම් කරන ලෙස නීතිපති විසින් පොලිස්පතිට දැනුම් දී ඇතැයි. නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    පහත කරුණු මත මෙම අසතුටුදායක තත්ත්වය පැන නැඟී ඇත.

    1. මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වන සම්පූර්ණ සාක්ෂි තත්ත්වය අපැහැදිලි වීම.

    2. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මූතුර් ඇක්ෂන් ෆාර්ම් නැමති රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශනය, වසීම් තාජුඩීන් ඝාතනය යන විමර්ශනවලට අදාළ සැකකරුවන් පිළිබඳ පැහැදිලි අනාවරණයක් නොමැති වීම.

    3. විමර්ශනවල ඉදිරි සැලැස්ම සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු අනාවරණය නොවීම.

    4. මෙම විමර්ශන අවසන් කිරීමට අවශ්‍ය නිශ්චිත කාල සීමාව සඳහන් කර නොමැති වීම.

    5. නීතිපතිවරයාගෙන් අවශ්‍ය නෛතික උපදෙස් පැහැදිලිව සඳහන් කර නොමැති වීම.

    6. විමර්ශන ආරම්භ කර ඇති දිනය සලකා බැලීමේ දී වසර ගණනාවක් ගත වුවද විමර්ශන මේ වන තෙක් අවසන් නොවීම යන කරුණු නීතිපතිගේ අවධානයට යොමු ව තිබේ.

    ඒ අනුව තමා වෙත අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසත් අදාළ විමර්ශන භාරව කටයුතු කිරීමට සිදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත් කර අවශ්‍ය නිසි උපදෙස් ලබා දී විමර්ශන කාර්යක්ෂමව, කඩිනමින්, ඵලදායිව සිදු කිරීමෙන් මෙම විමර්ශන සම්බන්ධයෙන් සම්පූර්ණඛ විමර්ශන උධෘත පමණක් ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා මෙම ලිපිය මඟින් උපදෙස් ලබා දී ඇත.

    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 20:01

    Latest News