රට ගොඩනැගීමේදි යහපාලන ආණ්ඩුව තුළ ඇතිවු ගැටුම් අගමැති කියයි

අගෝ 23, 2019

    රට ගොඩගැනීම සඳහා යහපාලන ආණ්ඩුව ඇති කළද මතුවූ මත ගැටුම් හා පුද්ගල චරිත ගැටුම් හේතුවෙන් ඇතැම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඉදිරියේදී දේශපාලන පක්ෂ ඒකරාශි කරමින් තනි ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩනැගීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ඔහු අද (23)  කියා සිටියේය. 

    සුළුතර ආණ්ඩුවක් යටතේ වුවද විවිධ අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ විශාල වැඩකොටසක් සිදුකිරීමට හැකිවූ බවත් තනි ආණ්ඩුවක් යටතේ එම සංවර්ධන වැඩ පිළිවෙල දස ගුණයකින් ඉහල නංවා ඉදිරියට ගෙන යාමට ක්‍රියා කරන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකලේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිත හමුවේදීය. 

    තව දුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

    2015 දී අප බාරගනු ලැබුවේ ආර්ථිකය කඩා වැටීමට ලක්වූ රටක්. ආර්ථිකය පමණක් නොව සංහිදියාව, සංවර්ධනය ජීඑස්පී සහන මෙන්ම නීතිය සහ අධිකරණ ආදී සියලූ අංශ බිද වැටීමට ලක්වූ රටක් අපි බාරගනු ලැබුවා. ශ්‍රී ලංකාවට ණය ලබාදීමට හෝ විදේශ රටවල් ඉදිරිපත් වුනේ නැහැ. එවැනි තත්වයකට රට ඇද වැටී තිබුණා. පසුගිය වසර හතර තුළ විවිධ අභියෝග මධ්‍යයේ ආර්ථිකය මෙන්ම සංහිදියාව, සංවර්ධනය වැනි සියලූ අංශ අපි ගොඩනගනු ලැබුවා. රට ගැන විශ්වාසයක් ඇති කිරීමට අපට හැකිවුණා. මේ සියලූ වැඩකටයුතු සිදුකිරීමට අපේ ආණ්ඩුවට බහුතරයක් තිබුණේ නැහැ. අපි යහපාලන ආණ්ඩුව ඇති කළා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අපි එකතු වී ක්‍රියා කළා. එහිදී ඇතිවූ මත ගැටුම් හා පුද්ගලික චරිත ගැටුම් හේතුවෙන් ආණ්ඩුවේ ඉලක්ක ගණනාවක් සපුරා ගැනීමට අපට නොහැකි වුණා. එවැනි බාධක මැද්දේ වුවත් බහුතර බලයක් නොමැතිව තිබූ අපේ ආණ්ඩුව ලංකාවේ පැවති ආණ්ඩු ගණනාවකට වඩා රටේ ගැටළු බොහොමයක් විසඳාලමින් රට ඉදිරියට ගෙන ගියා. තුනෙන් දෙකක බලයක් හිමි ශක්තිමත් ආණ්ඩු මීට පෙර අවස්ථාවල පැවතියත් රටේ ගැටළු විසදීමට ඔවුන්ට නොහැකි වුණා. ප්‍රශ්නවලට මුහුණදීමට නොහැකිව නියමිත කාලසීමාවට පෙර මැතිවරණ කැදවීමට ඔවුන් ක්‍රියා කළා. එහෙත් නියමිත පාලන කාලය අවසන් වන තෙක් අපි මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා. සුළුතර බලයක් හිමි ආණ්ඩුවක් ලෙස දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් අපි මේ රටට සිදු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් ස්ථාපිත කිරීමෙන් පසු රටේ පවතින සංවර්ධනය දස ගුණයකින් වැඩි කිරීමට අපි පියවර ගන්නවා. එම පණිවුඩය අපි රටටම ගෙන යා යුතුයි.

    මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලූ දෙනා කණ්ඩායම්, කල්ලිවලට නොබෙදී අනෙකුත් බලවේග ඒකරාශි කරමින් ඉදිරියට යා යුතු බවයි. 2015 වසරේ දී ආණ්ඩුවක් පිහිටුවන බව එදා රනිල් වික්‍රමසිංහ මහතා 2014 දී ප්‍රකාශ කරන විට ඇතැම් ඇය එය විහිළුවක් ලෙස සළකා ක්‍රියා කළ ද එතුමා උපායශීලිව දුරදක්නා නුවනින් ක්‍රියාකළ නිසා ප්‍රකාශ කළ පරිදි ආණ්ඩුව පිහිටුවීමට හැකිවූ බව අකිල විරාජ් කාරියවසම් මහතා සිහිපත් කළේය. 

    මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩුවෙල් සුරේෂ් මහතා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් සහභාගිව සිටියහ.

    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 20:37

    Latest News