පසුගිය පාලනයේ සිද්ධීන් 05ක පරික්ෂණ අවසන් කිරිමට නීතිපතිගෙන් උපදෙස්

අගෝ 15, 2019

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධි කිහිපයක විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

    මේ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සහන කණ්ඩායමක පුද්ගලයින් 17 දෙනෙක් ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගැරනීම, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීම යන සිද්ධිවල විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කරන ලෙසද නීතීපතිවරයා පොලීසියට උපදෙස් ලබා දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේය.

    එම විමර්ශන කඩිනමින් අවසන් කොට සම්පූර්ණ විමර්ශන ගොනු චෝදනා ගොනු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසද නීතීපතිවරයා යොමු කළ ලිපියේ සඳහන්වේ.

    පොලීසිය මඟින් චෝදනා ගොනු කිරීම සඳහා නීතපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු භාරදීමේදී නිසි පරිදි සම්පූර්ණ කළ ලිපිගොනු යොමු කරන ලෙසද නීතිපතිවරයා දන්වා ඇත. නීතිපති උපදෙස් වෙනුවෙන් පොලීසිය යොමුකර ඇති ලිපි ගොනු අසම්පූර්ණතා ඇති බව නිරීක්ෂණය වී ඇතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද යැවු ලිපියේ  සඳහන් කර ඇත.

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393(6) වගන්තියට අදාළව නීතිපති උපදෙස් වෙනුවෙන් ලිපිගොනු යොමුකිරීමේදී ඒවා එම නෛතික වගන්තියට අනුකූලව යොමු කිරීමට අපොහොසත් වී ඇත් නම්  එම ලිපිගොනු යළි හරවා එවීමට සිදුවනු ඇති බවද නීතිපතිවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් කියා සිටි.

    එබැවින් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු යොමුකිරීමේදී නෛතික ප්‍රතිපාදනවලට දැඩි අනුකූලතාවයකින් සම්පූර්ණ ලිපිගොනු යොමු කරන ලෙස පොලීසියේ සියලු අංශවලට දැනුම් දෙන්නැයි නීතීපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය නිවේදනය කර සිටි.

     

    Latest News