ලබන මාසයේ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන්...ජනපති

ජූලි 25, 2019

    මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතියට අයත් අනෙක් මහා ජලාශය වූ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබාදිය හැකි බව ජනාධිපතිතුමා පවසයි.

    එමෙන් ම ව්‍යාපෘතියට අයත් ප්‍රධාන ඇළ මාර්ග වූ වයඹට ජලය ගෙන යන වයඹ ඇළ, නැගෙනහිරට ජලය ගෙන යන ඉහළ ඇළහැර සහ මිණිපේ ඇළ සංවර්ධන කටයුතු ද මේ වන විට කඩිනමින් සිදුවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    “මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනගත කිරීම වෙනුවෙන් (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සතළිස් වසරක් පුරා ක්‍රියාත්මක මහවැලි සංවර්ධන වැඩසටහන මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන්නා සේම එය රටේ හෙට දවස වෙනුවෙන් ක්‍රියාත්මක නිමා නොවන පුනරාගමන ක්‍රියාවලියක් බවයි මහවැලි දියවරෙන් මහපොළෙව තෙත් කරන එම යෝධ ක්‍රියාන්විතයේ සුවිශේෂි ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතිය මුළු මහත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ක්‍රියාත්මක වූ සුවිසල් කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය ලෙස දේශයේ ප්‍රගමනය සඳහා නිම කරන්නට ලැබීම තම ජීවිතයේ ලද භාග්‍යයක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජලය සහ භූමිය බෙදාගත නොහැකිව මහපොළව ගොවීන්ගේ රුධිරයෙන් තෙත් වූ අවස්ථා තමා ද දැක ඇති බවයි. වියළි කලාපීය ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් මොරගහකන්ද කළු ගඟ මහා ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකි වූ බව ද ජනාධිපතිතුමා පැවසීය. රජ රට ගොවි ජනතාව වෙනුවෙන් තමා දුටු දීර්ඝකාලීන සිහිනයක් වූ මොරගහකන්ද ව්‍යාපෘතිය යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන් සහ එදා මෙදා මහවැලිය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප්‍රධාන ඉංජිනේරුවාගේ සිට සැලසුම් ශිල්පින්, තාක්ෂණික ශිල්පීන් මෙන්ම අවසාන කම්කරුවා දක්වා සියලුදෙනාට තම ගෞරවය පුද කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 08:17

    Latest News