ස්වදේශ කටයුතු අමාත්‍යංශය 'නිල මැදුර'ට පිවිසෙයි

ජූලි 25, 2019

    කොළඹ 5, නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ ඉදිකරන ලද ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ 'නිල මැදුර' නව ගොඩනැගිලි සංකීර්ණය අද දින (ජූලි 25 බ්‍රහස්පතින්දා උදේ 11.00 ට ) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කිරීමට නියමිත බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැගිලි කළමණාකරණ වැඩපිළිවෙළක් අනුව ගොඩ නගන ලද මහල් 20 කින් සමන්විත මෙම සංකීර්ණය විවෘත වීමත් සමගම ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් සැපයීම අපේක්ෂා කෙරේ. මේ සඳහා රජය විසින් වැය කොට ඇති මුදල රුපියල් කෝටි 558 කි.

    මෙම නව 'නිල මැදුර' ගොඩනැගිල්ල තුළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලුම අංශ මෙන්ම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය ආදී රාජ්‍ය ආයතන පිහිටුවා ඇති බැවින් මහජනයාට එක වහලක් යටදී සියළුම සේවාවන් ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි.

    මෙයට අමතරව ආසන 100ක් සහ 200ක් සහිත ශ්‍රවණාගාර 2ක්, තිඹිරිගස්යාය උප තැපැල් කාර්යාලය, ලංකා බැංකු ශාඛාවක්, බැංකු ටෙලර් යන්ත්‍ර මේ තුළ ස්ථානගත කොට ඇත. ආබාධ සහිත පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස සකසා ඇති සහිත විදුලි සෝපාන 5ක් සහ වාහන 100ක් නවතා තැබීමේ පහසුකම්ද මෙහි වෙයි. එමෙන්ම ආපන ශාලාවකින් සහ කුඩා සුපිරි වෙළඳසැලකින් ද 'නිල මැදුර' සමන්විතය. සූර්ය පැනල පද්ධතියක්ද මෙහි ස්ථාපිත කර ඇත.

    2016 ජනවාරි 08 දින වැඩ ආරම්භ කරන ලද 'නිල මැදුර' වැඩ අවසන් කිරීමට අපේක්ෂිතව තිබුණේ 2022 වසරේය.

    Latest News