ඉඩම් පනත් කෙටුම්පතට පොහොට්ටුවෙන් පෙත්සමක්

ජූලි 04, 2019

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබේ.

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි හා උදය ගම්මන්පිල යන මහත්වරු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කෙරිණ. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ. පෙත්සම්කාර මන්ත්‍රීවරු ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත පනත් කෙටුම්පත තුළින් බලපත්‍ර හිමි ඉඩම් ලාභීන්ට ඒවායේ අයිතිය පවරා දීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

    එම යෝජනා ප්‍රගතිශීලී ඒවා ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද ඇමරිකාව සමග ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා පිහිටුවීමට යෝජිත ආර්ථික තීරුව සඳහා ඉඩම් සම්පාදනය කර ගැනීමේ අරමුණෙන් රජය මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් වන බවද පෙත්සම්කාර මන්ත්‍රීවරුන් චෝදනා කළේය.

    ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලු පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ද පෙත්සම්කරුවන් චෝදනා කළේය.

    ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව පෙන්වාදෙන පෙත්සම්කාර මන්ත්‍රීවරු ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 15:31

    Latest News