සඳුදා පාසල් විවෘතයට සූදානම්..... ආරක්ෂක අංශ එකඟතාවකින් පසු (වීඩියෝ)

මැයි 02, 2019

    සෑම පාසලකම ආරක්ෂාව තහවුරු වී තිබෙන බවට සියලු ආරක්ෂක අංශයන් හි පැහැදිලි එකඟතාවයකින් පසු 06 වැනිදා පාසල් සියල්ල නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් ආරම්භ කිරීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරිමට අරලියගහ මන්දිරයේ දී අද (02) පැවැති මාධ්‍ය හමුවේ දීය.

    දිවයිනේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරමින් එකම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය කරුණු 18 කින් සමන්විත දැනුවත් කිරීමේ චක්‍රලේඛය ද පාසල් ප්‍රධානීන් වෙත යොමු කර තිබේ. ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ බුද්ධි අංශ වලින් ලබා දෙන තොරතුරු හා උපදෙස් මත තීරණ ගතයුතු බව පෙන්වා දෙන අධ්‍යාපන අමාත්‍යවරයා, ඊට පරිබාහිරව හුදකලාව තීරණ ගැනීමට පුඵවන් කමක් නැති බවත් අවධාරණය කළේය.

    පාසල් නැවත ආරම්භ කිරීමට පෙර දැඩි ආරක්ෂාව සහිත ස්ථාන බවට තහවුරු කරගත යුතු බවත්, එසේම පාසල් ආරම්භ කළාට පසුව ද අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතු බවත් ඔහු කියා සිටියේය. ත්‍රිවිධ හමුදා හා පොලිසියේ ප්‍රධානීන්ට ලිඛිත හා වාචිකව දැනුම් දී සාකච්ඡා කර තීන්දු ගණනාවකට එළඹ ඇති බවත් ඇමතිවරයා පැවසියිය. සියලුම පාසල් පරිශ්‍ර හා අවට පරීක්ෂා කොට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය එකඟතාවය පළ කර ඇත.

    ඒ අනුව පාසල් දරුවන‍්ගේ ආරක්ෂාව පිණිස ගතහැකි සෑම පියවරක්ම ආණ්ඩුවක් ලෙසින් හා අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් ගත් බව අධ්‍යාපන ඇමති පැවසියිය. පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මවුපියන් ආදි ශිෂ්‍යයන් මෙන්ම සිසුන්ට ද වගකීමක් තිබෙන බවත්, කරුණු 18 කින් සමන්විතව ආරක්ෂාව සම්බන්ධ දැනුවත් කිරීමේ එම චක්‍රලේඛයක් හඳුන්වාදී තිබේ. එය දරුවන්ගේ ආරක්ෂාව කාට හෝ පැවරීමක් නොවන බවත්, දරුවන්ගේ ආරක්ෂාව මේ මොහොතේ සියලු දෙනාගේ ජාතික මෙන්ම පුරවැසි වගකීමක් බව ද ඇමතිවරයා පෙන්වා දුනී.

    පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල එකඟතාවයක් සහ බුද්ධි අංශ වලින් තොරතුරු ගෙන පාසල් ආරම්භ කළයුතු බවත් කැබිනට් මණ්ඩලය තීරණය විය. කතෝලික පාසල් එදින නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම ප්‍රධානීන් හා කාදිනල්තුමා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි. පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වී දුන් උපරිම සහයෝගය පිළිබඳව ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තුතිය පළ කළේය. පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය සමඟ සාකච්ඡා කිරීමටත්, පමණ ඉක්මවා දරුවන් ප්‍රවාහනය කිරිමේදි සැලකිලිමත් වන්නැයි ඉල්ලීමක් කර ඇති බවත් ඇමතිවරයා පැවසියීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 20:30

    Latest News