ගෝඨාභයගේ නිතීඥවරයාගේ ඉල්ලීමට අවසර..... ඇවන්ගාඩ් නඩුව ජුලි 11ට

අප්‍රේ 29, 2019

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක විභාගය ජුලි මස 11 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ දිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව ජුනි මස 14 වන දා ලබාදීමට නියමිත බවයි.

    එතෙක් මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය. එබැවින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන්ද දෙපාර්ශවය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය නඩු විභාගය ජුලි මස 11 වැනිදාට කල් තැබිණ.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අය ද නම් කර තිබේ.

    ඊට අමතරව සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන හිටපු නාවික හමුදාපති වරු තුන් දෙනා ද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

    මෙම නඩුවේ විත්තිකාරිය ක ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඇය නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යාමටද අධිකරණය තීරණය කර තිබේ.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 15:59

    Latest News