ධීවර වරායන්හි ආරක්ෂාව තර කිරීමට ඇමති උපදෙස්

අප්‍රේ 24, 2019

    සියළු ධීවර වරායන්වල ආරක්‍ෂාව උපරිමයෙන් සහතික කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර වරාය නීතිගත සංස්ථාව සහ වගකිව යුතු සියළු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

    පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ආරක්‍ෂක අංශ සිදුකරන මෙහෙයුම් සඳහා සහය ලබාදීමට මෙන්ම රටතුල ආරක්‍ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහාත් මෙම පියවර ඉතා වගකීමෙන් ඉටුකිරීමට අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා දන්වයි. 

    මෙම ආරක්‍ෂක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය මෙන්ම පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ සමඟ මනා සම්බන්ධීකරණයකින් අදාළ ආරක්‍ෂක කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් ලබා දී තිබේ .

    ආරක්‍ෂක අංශවලට අත්‍යවශ්‍ය සැකකටයුතු යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් රටින් බැහැරව යාම වැළැක්වීම සඳහා සියළු ධීවර වරායන් වෙත පැමිණෙන පිරිස් හා පුද්ගලයින් පිළිබඳව දැඩි අවදානය යොමුකර ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කිරීම සියළු ධීවර වරායන්හි ආරක්‍ෂක අංශ කටයුතු කළයුතු සේම, ධීවර යාත්‍රා උපයෝගී කරගනිමින් රටතුලට පැමිණෙන සහ රැගෙන එන භාණ්ඩ පිළිබඳවද දැඩි අවදානය යොමුකර කටයුතු කිරීම සදහා සියළු ධීවර වරායන් ආශ්‍රිතව ආරක්‍ෂක කම්ටු පිහිටුවා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කටයුතු කළයුතු බවටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත .

    එලෙසම යම් ධීවර යාත්‍රාවක් බාහිර පුද්ගලයන්ට භාවිත කල නොහැකි ලෙස ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසටද ධීවර වරාය නීතිගත සංස්ථාවට උපදෙස් දී තිබේ.

     

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 12:43

    Latest News