ශිෂ්‍යත්වය අනිවාර්ය නොවන චක්‍රලේඛය නිකුත් කෙරේ (වීඩියෝ)

අප්‍රේ 08, 2019

    පහේ ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටින සියලු දරුවන්ට අනිවාර්ය නොවන බවට සඳහන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහ ගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින්.මෙම කමිටුව අධ්‍යාපනඥයින්, ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විද්වතුන් පිරිසකගෙන් සමන්විතයි.

    නියමිත ආදායම් සීමාවට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සඳහාත්, පාසල් වල 6 ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීම සඳහාත් පස්වන ශ්‍රේණය ශිෂ්‍යත්ව විභාගය පරීක්ෂණයක් වශයෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.

    කෙසේ වෙතත් වර්තමානය වන විට එම මූලික අරමුණෙන් බැහැර වෙමින් ශිෂ්‍යත්ව විභාගය හරහා ශිෂ්‍ය විවිධත්වය සහ බුද්ධි වර්ධනයේ විෂමතාවන් නොසලකා හරිමින් කුඩා දරුවන්ගේ මනසට අහිතකර බලපෑම් ඇති කරවන අයුරින් කෘතීම සහ අනවශ්‍ය තරගකාරී බවක් නිර්මාණය කර තිබෙන බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ මතය වී තිබේ.         

    බොහෝ අවස්ථාවලදී අඩු ආදායම්ලාභී ශිෂ්‍යාධාර ලබා ගත යුතු පවුල්වල දරුවන්ටත් වඩා ප්‍රධාන ජාතික පාසල්වල සිසුන්ශිෂත්වය විභාගය සම්බන්ධයෙන් විශාලපීඩනයකට හසුවන බවයි ඔවුන්ගේ නිගමනය වී තිබෙන්නේ.   

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මින් ඉදිරියට ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන ආදායම් සීමාවට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් හැර අනෙකුත් සියලු ම සිසුන් එම පරීක්ෂණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් ඒ සඳහා කිසිදු අයුරකින් සිසුන්ට බලපෑම් නොකළ යුතු බවත් මේ සම්බන්ධයෙන්නිකුත් කරන ලද 08/2019 චක්‍රලේඛයෙහි දක්වා තිබේ.

    ඒ අනුව සිසුන්ට තම අභිමතය පරිදී මව්පියන්ගේ ද කැමැත්ත මත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න තීරණය කළ හැකිවනු ඇති.      


    යම් අවස්ථාවකදී 5 ශ්‍රේණියෙන් අවසන් වන ප්‍රාථමික පාසලක සිසුවෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටි අවස්ථාවක දී ඔවුන් සඳහා ප්‍රදේශයේ පාසලක් ලබා දීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පවරා තිබේ.          

    අනවශ්‍ය ප්‍රවර්ධනය මගින් දරුවන් මුහුණ දෙන පීඩාවන්ට තිත .. 

    මීට අමතරව පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් තරගකාරීත්වය ප්‍රවර්ධනය වන අයුරින් පෝස්ටර් බැනර් වැනි ප්‍රචාරක කටයුතු නොකළ යුතු බවද මෙම චක්‍ර ලේඛයෙන් අවධාරණය කර තිබේ.     

    අදාළ තීරණය ගෙන තිබෙන්නේ සමත් සහ අසමත් ලෙස දරුවන් වෙන් කරමින් නිර්මාණය වන බෙදීම තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මානසික අර්බුදයන්ට ලක් වන බව සහ ඔවුන්ගේ මානවීය ගුණාංග සංවර්ධනය සඳහා ද එය අහිතකර වන බවට ශිෂ්‍යත්ව සමාලෝචන කමිටුව හරහා ඉදිරිපත් කර තිබූ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින්.

    6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අයථා මුදල් එක්රැස් කිරීමත් තහනම්           

    පාසල්වල 6 ශ්‍රේණි සිසුන් ඇතුළත් කිරීමේ දී අදාල චක්‍රලේඛ උපදෙස් පරිදි පහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු වැනි අනුමත ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝ වෙනත් පරිත්‍යාගයක් ලබා ගැනීම සපුරා තහනම් බව ද මෙම චක්‍රලේඛය මගින් දක්වා තිබේ.  ඒ ඇතැම් පාසල්වල 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී පැමිණෙන දරුවන්ගේ මාපියන්ගෙන් අයථා ලෙස මුදල් රැස් කරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින්.

    ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවන්ට ඇතිවන අනවශ්‍ය පීඩනය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් ශිෂ්‍යත්ව විභාගය නැවත සමාලෝචනය කර,  ඒ සඳහා සුදුසු විකල්ප යෝජනා ලබා ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පත් කරන ලද ශිෂ්‍යත්ව විභාග සමාලෝචන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණවලට එළඹීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් විභාගය අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණයකට එම කමිටුව මෙතෙක් එළඹ නැහැ.  

      

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 20:26

    Latest News