පා.ම ප්‍රසන්නට රට යන්න අවසර

නොවැ 01, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට මේ මස පස්වන දා සිට 11 වනදා දක්වා කාලසීමාව තුළ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා චීනයට යාමට අවශ්‍ය ඇති බවයි.

    ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාලසීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුට අදාල කාල සීමාව සඳහා විදේශගත වීමට අවසර ලබාදුන් අතර නඩු විභාගය ජනවාරි මස 17 වනදා පැවැත්වීමට තීන්දු කළේය.

    මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන නරෙෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද මහාධිකරණය තීරණය කර තිබේ.

    Latest News