'කොවිඩ් නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය නංවන්න ලෝක බැංකු සහය'

මැයි 12, 2021

    කොවිඩ් වසංගතය හමුවේ බිදි වැටී ඇති මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ලෝක බැංකු සහාය හිමිව තිබේ.

    මේ අනූව සංචාරක ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ දී උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම, සංචාරකයන් සදහා හදුන්වාදෙන නව ජංගම යෙදවුමට (app) මෙරට තිරසර සංචාරක කළාප හදුන්වාදීමේ වැඩසටහන ද සහාය ලබාදීමට ලෝක බැංකුවේ අවධානය යොමුව තිබේ.

    ලෝක බැංකුවේ මෙරට නියෝජිත චියෝ කණ්ඩා (Chiyo Kanda) මහත්මිය හා සංචාරක ඇමති ප්රුසන්න රණතුංග මහතා අතර පසුගිය දා (07) පැවති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කෙරිණ.

    වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මිහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    මෙරට ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. ඒ සදහා උපාය මාර්ගික සැලසුම් ද හදුනාගෙන ඇත.මෙම ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීම කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා සංචාරක ජංගම යෙදවුමක් (app) හදුන්වා දීමට සැලසුම් කර ඇති අතර එය නිර්මාණය කිරීමේ අවසන් අදියරේ පවතින බව ද මෙහි දී අවධාරණය කෙරිණ. තිරසර සංචාරක ගමනාන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ සීගිරිය හා යාල සංචාරක කළාප, තිරසර සංචාරක කළාප ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    මෙරට සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ලෝක බැංකුව සිය සහාය නිරන්තරයෙන් ලබාදීමට සුදානම් බවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් රජය දක්වන උනන්දුව පිළිබදව ප්‍රසාදය පළ කරන බවත් පැවසු ලෝක බැංකුවේ මෙරට නියෝජිතවරිය අවශ්‍ය ඕනෑම මොහොතක සිය සහාය මෙරට සංචාරක ව්‍යාපාරයට ලබාදීමට සුදානම් බව ද ප්‍රකාශ කළේය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතය මෙරටට පැමිණීමට පෙර තිබු තත්ත්වයටත් වඩා සංචාරක කර්මාන්තය දියුණු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි.

    ඒ සදහා රජය ඉමහත් කැපවීමෙන් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදිම පිළිබදව ලෝක බැංකු නියෝජිතවරියට සිය ප්‍රසාදය ද පළ කළේය.

    Latest News