නිම නොවන අලි ගැටලුව

මැයි 13, 2023

    ‍‍වසර ගණනාවක් තිස්සේ පවතින අලි - මිනිස් ගැටුමට, තවමත් ස්ථිර විසඳුමක් ඉදිරිපත් කිරීමට කිසිවෙකු සමත් වී නැහැ.

    මේ නිසා දිනපතා වන අලි මරණ හෝ මිනිස් ජීවිත අහිමිවීම් පිළිබඳ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වනවා. පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ දිගු කලක් ගැවසෙමින් සිටි වන අලි රංචුවක්, ජාතික ජල ගැලුම් නිම්න උද්‍යානය වෙත පලවා හැරීමේ තොරතුරක්, ඊයේ වාර්තා වුණා.  

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලෑටියාව, මගුල්දමන යන ගම්මානවලට කලක පටන් පැවති වන අලි තර්ජන හේතුවෙන්, ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ගම්මානයේ පැලෑටියාව රක්ෂිතය තුළ රැඳී සිටි වන අලි 10 ක 15 ක පමණ රංචුවක්, නිරන්තරයෙන් ගම්මානය කරා පැමිණෙනවා.

    පසුගිය මාස කිහිපයේ නිවාස 15 කට පමණ හානි කර ඇති අතර වගාවන් ද විනාශ කර තිබුණා.  මේ පිළිබඳ ක්‍රියාත්මක වූ පිඹුරත්තෑව අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් 15 ක පමණ කණ්ඩායමක් හා ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන සමග එක්ව, වන අලි පලවාහැරීමේ මෙහෙයුමක්, පසුගිය දින දෙක තුළ ක්‍රියාත්මක කළා.

    පැය 15 ක පමණ මෙහෙයුමකින් පසු වන අලි ජාතික ජල ගැලුම් නිම්න වනෝද්‍යානය කරා පලවා හැරීමට හැකි වූ බවයි, අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    Latest News