අලි රොෂාන් නඩුවේ වි‍රෝධතා ගැන තීරණය ලබන 07

පෙබ 21, 2019

    අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට බලයක් තිබේ දැයි ලබන 07 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නිවේදනය කර ඇත.

    බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මෙම නඩුව විභාග කිරීමට තම අධිකරණයට බලයක් තිබේද නැද්ද යන තීරණය ලබන 07 වන්දා ප්‍රකාශ කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(21) නියම කර තිබේ.

    සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

    මෙම නඩුව ඉකුත් දා විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුව විභාග කිරීමට විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර තිබේ.

    මෙම මූලික විරෝධතාව පිළිගෙන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද එම නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් හතරදෙනකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තුළින් වනසත්ව හා වෘක්ශලතා ආඥාපනත මෙන්ම පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා චෝදනා 24 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News