සජින් වාස් ගුණවර්ධන මිහින් ලංකා නඩුවෙන් නිදහස්

මාර් 29, 2023

    මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

    අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මතුකළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම තීන්දුව ලබා දුන්නා.

    මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට මීට පෙර මූලික විරෝධතාවක් මතු කළ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මේ හා සමානම චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර එම නඩුවෙන් විත්තිකරු නිදොස් කොට තිබෙන බව පෙන්වා දුන්නා.

    එස් නිදොස් කරන ලද විත්තිකරුට එරෙහිව යළි කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අල්ලස් කොමිසම ගත් තීරණය නීතියට පටහැනි බැවින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කොට විත්තිකරු නිදහස් කරන ලෙසත් එම මූලික විරෝධතාව තුලින් ඉල්ලා තිබුණා.

    එම මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව විත්තිකාර සජින් වාස් ගුණවර්ධන නිදහස් කිරීමට ද නියෝග කළා.

    2007 වසරේ ජුනි මස 27 වනදා සහ 2008 වසරේ මැයි මස 29 වන දා අතර කාලසීමාව තුළ මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී ටී.පී.එල්. ඉන්ටර් පුද්ගලික සමාගමෙන් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 883 පාඩුවක් රජයට සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව දූෂණය නැමැති වරද යටතේ මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News