සජින් වාස් ගුණවර්ධනට විදේශ ගතවීමට අධිකරණයෙන් අවසර

ජූලි 07, 2022

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට හෙට දින සිට ලබන 25 වනදා දක්වා කාල සීමාව තුළ විදේශගත වීම සඳහා පනවා තිබෙන තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    අදාල කාලසීමාව තුළ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාට විදේශ ගත වීමට අවසර ලබා දෙන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ආගමන හා විගමන පාලකවරයා හට නියෝග කළා.

    අදාළ නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය ව තිබෙන බව සඳහන් කළා.

    ඒ සඳහා හෙට දින සිට ලබන 25 වනදා දක්වා අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ද විරෝධය පළ කළේ නැහැ.

    ඒ අනුව අදාළ කාලසීමාව තුළ සජින් වාස් ගුණවර්ධන මහතාට විදේශ ගතවීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව ලබන 26 වනදා යලි කැඳවීමට නියම කළා.

    2010 වසරේ සිට 2015 දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 32 කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News