හිටපු පා. ම. සජින් වාස්ගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ජූනි 18, 2020

    සජින් වාස් ගුණවර්ධන මහතා ඉල්ලා ඇති කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ රුපියල් කෝටි 30 කට අධික වත්කම් සා මුදල් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.

    සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    කෙසේ වෙතත් සජින් වාස් ගුණවර්ධන මහතා ගොනු කළ පෙත්සමක් විභාග කිරීම සඳහා වගඋත්තර කරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුවට අදාළ විරෝධතා තිබෙනවා ජුලි මස 03 වනදා ඉදිරිපත් කරන ලෙසයි නියෝග කළේ.

    සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි වශයෙන් පරිගණක දෘඩාංග තැටි 10 ක් අන්තර්ගත කර තිබෙන බව සඳහන් කළා.

    එහෙත් ඉන් පරිගණක දෘඩාංග තැටි 03 ක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක පවතින බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පරිගණක දෘඩාංග තැටි තුන තුළ අන්තර්ගත දත්ත මත සාක්ෂි මෙහෙයවීමක් සිදු වූවොත් ඉන් තම සේවාදායකයාට අගතියක් සිදුවුනු ඇති බවයි සඳහන් කළේ.

    මෙම තත්ත්වය මත තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් අදාළ පරිගණක දුඩාංග තැටි දහයම කොළඹ හෝ මොරටුව විශ්වවිද්‍යාලෙවල පරිගණක අංශ වෙත යොමු කර විමර්ශන වාර්තාවක් කැඳවීමට අවසර දෙන ද අධිකරණ ඉල්ලා සිටියා.

    මෙම කාරණය නිරාකරණය කරගන්නා තුරු කොළඹ මහාධිකරණය හමුවේ තම සේවාදායකයාට එරෙහිව පවත්වන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරනයෙන් ඉල්ලා සිටියේ.

    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය කරුණු දක්වමින් පෙත්සම්කරු විසින් සඳහන් කරනු ලබන පරිගණක දෘඩාංග තැටි 10 මත පදනම්ව තමා මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදි සාක්ෂි මෙහෙයවීමක් සිදු නොකරන බව සඳහන් කළා.

    එම නිසා පෙත්සම්කරුට කිසිදු අගතියක් සිදු නොවන බවත් පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

    කෙසේ වෙතත් අදාළ පරිගණක දෘඩාංග තැටි 10 කොළඹ හෝ මොරටුව විශ්වවිද්‍යාල පරිගණක අංශ වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වය කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බවද රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සජින් වාස් ගුණවර්ධන මහතාගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම පරිගණක දෘඩාංග තැටි පරික්ෂා කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම නඩු විභාගය පැවැත්වෙන කොළඹ මහාධිකරණය හමුවට ගොස් සිදු කරන ලෙසයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් පෙත්සම්කරු විසින් සඳහන් කරනු ලබන පරිගණක දෘඩාංග තැටි 10 මත පදනම්ව සාක්ෂි මෙහෙයවීමක් සිදු නොකරන බවට පැමිණිල්ල සඳහන් කරන හෙයින් ඒ තුළින් පෙත්සම ඉදිරිපත් කරන විත්තිකරුට කිසිදු අගතියක් සිදු නොවන බව ප්‍රකාශ කළා.

    ඒ අනුව කොළඹ මහාධිකරණය හමුවේ පවත්වනු ලබන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළා.

    කෙසේ වෙතත් පෙත්සම්කරු විසින් සඳහන් කරනු ලබන පරිගණක දෘඩාංග තැටි 10 මත පදනම්ව පැමිණිල්ල කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ දී සාක්ෂි මෙහෙය වීමට උත්සහ කළොත් ඒ සම්බන්ධයෙන් විත්ති පාර්ශවයට විරෝධය පළ කිරීමට හැකියාව පවතින බවද මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අවධාරණය කර සිටියා.

    Latest News