මෛත්‍රීගේ රීට් පෙත්සම සලකා බැලේ

ඔක් 14, 2022

    මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමක් අද සිදු වුණා.

    ඒ, පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එහෙත් අදාළ නඩුවේ විභාගය අද දින සිට සති 10 කට කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයාට නියම කළා.

    එම කාල සීමාව තුළ පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අගතිගාමී නියෝග නිකුත් නොකරන ලෙසත් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් වරායට නියෝග කළා.

    මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබා දුන්නා.

    අනතුරුව නඩු විභාගය දෙසැම්බර් මස 06 වනදා කැඳවීමට ද නියෝග කළ අභියාචනාධිකරණය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සෝභිත රාජකරුණා මහතා කියා සිටින්නේ මෙම නඩුකරයේ පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේදී විසඳාගත යුතු නීතිමය තර්ක කීපයක් අධිකරණය හමුවේ මතුවී තිබෙන බවයි.

    මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද මූලික අයිතිවාසිකම් නඩු විභාගයක් පැවැත්වෙන බවත් මෙහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නා.

    එහෙත් පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට හැකියාවක් තිබෙන බව අධිකරණය විසින් ද පිළිගන්නා බව කී විනිසුරු රාජකරුණා මහතා ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා ඇති පරිදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සම්කරුට එරෙහිව පැවැත්වෙන අදාළ පුද්ගලික පැමිනිල්ල පිළිබඳ විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් නොකරන බවත් සඳහන් කර සිටියා.

    එහෙත් අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කරයේ විසඳා ගත යුතු නීතිමය තර්ක පිළිබඳව තීරණයක් ගන්නා තෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව ඉදිරියට සිදු කර ගෙන යාම අගති දායක විය හැකි බවත් විනිසුරුවරයා සඳහන් කළා.

    ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන වගඋත්තරකරුවන්ගේ පුද්ගලික පැමිණිල්ල මත වූ විභාගය අද දින සිට සති 10 කට කල් දමන ලෙස අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් වරයාට නියෝග කරන බවත් විනිසුරු වරයා සිය තීන්දුවේ කියා සිටියා.

    එම කාලසීමාව තුළ පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අගතිදායක නියෝග නිකුත් කිරීමෙන් වළකින ලෙසත් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවා.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙක් වූ බවට පත් වූ පුද්ගලයකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විත්තිකරු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

    එම පුද්ගලික පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඉකුත් දා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිතාසි නිකුත් කළා.

    එම සිතාසිය බල රහිත කරන ලෙස ඉල්ලා මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණය අද මෙම නියෝගය නිකුත් කළා.

    Latest News