මෛත්‍රී ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කල් දෙයි

ජූනි 05, 2024
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට කල් ලබා දුන්නා.

    තමන්ව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

    එහිදී අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන මහලේකම් සරත් ඒකනායක යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ පෙත්සම්කරුට එරෙහිව නිකුත් ලිපිය ඉවත් කර ගන්නේද? නැත්ද? යන තීරණය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙසයි.
    ඒ අනුව පෙත්සම යලි ජූනි මස 25 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින මෙම තීරණය දැනුම් දෙන ලෙස අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක යන මහත්වරුන්ට නියෝග කළා.
    සිය පක්ෂ සාමාජිකත්වය සහ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා ඉකුත් වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
    එහෙත් දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
    එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ ද එම අධිකරණය විසින් ද අදාල වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.
    ඉන් අනතුරුව අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
     

    Latest News