සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා නඩුවට නිවැරදිකරු බව රාජිත කියයි

සැප් 12, 2022

    2019 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සුදු වෑන් මෘධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකිරීම ඇතුළු චෝදනාවලට තමන් නිවැරදි කරුවන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූම් යන අය කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

    එහිදී චෝදනා 11කින් සමන්විත අධිචෝදනා පත්‍රය අධිකරණය හමුවේ විත්තිකරුවන්ට කියවා දෙනු ලැබුවා.

    ඒ අනුව අදාළ චෝදනා වලට තමන් නිවැරදි කරුවන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර එහි දී සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටි ස්වාධීන රූපවාහිනී සේවයේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදකවරයෙකු වන සුරේන්ද්‍ර අබේපාල මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

    එහිදී මෙම නඩුවට පාදක වන මාධ්‍ය සාකච්චාව පිලිබඳව පැමිණිල්ල මෙහෙයවන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා නැගූ ප්‍රශ්නවලට සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නා.

    පසුව මෙම වීඩියෝ පටය අධිකරණය හමුවේ වාදනය කරමින් සාක්ෂි විමසීම සිදු වුණා.

    අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන 26 වනදා දක්වා කල් තැබු අතර එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට අධිකරණය අවවාද කළේය.

    මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ප්‍රශ්න ගත මාධ්‍ය සාකච්චාව සහභාගී වූ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සාක්ෂිකරුවන්ට එල්ල වී ඇතැයි කියන තර්ජන පිළිබඳව විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේ දී එම සාක්ෂිකරුවන්ගෙන් විමසනු ලැබුවා.

    එහිදී සරත් කුමාර නමැති සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියේ මීට මාස 05 කට පෙර මෙම නඩුවට ඉදිරිපත් නොවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම නිවසට පැමිණ තර්ජනය කළ බවයි. එක් නිලධාරීයෙකු සිය හැදුනුම්පත පෙන්වූ බවත් එහි ඔහුගේ නම නෙවිල් ගමගේ යනුවෙන් සඳහන් කර තිබු බවත් සාක්ෂිකරු කියා සිටියා.

    ඉන් පසුව තුන් වතාවක් දුරකථන මගින් මෙම තර්ජනය එල්ල කල බවත් ඔහු ප්‍රකාශ කළා.

    මේ පිළිබඳව තමා මීගහවත්ත පොලීසියට පැමිණිලි කලත් සහනයක් ලැබි නොමැති බවත් සාක්ෂිකරු සඳහන් කළා.

    අතුල සංජීව මදනායක නමැති සාක්ෂිකරු ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමන්ට ද දුරකතන මගින් තර්ජනය එල්ල වී ඇති බවයි.

    සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන කාරණා සොයා බැලිය යුතු තත්ත්වයක් බව පෙන්වා දුන් විනිසුරු දමිත් තොටවත්ත මහතා මේ පිළිබඳව විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළා.

    2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම , ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා එල්ල කර තිබෙනවා.

    Latest News