සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන මස 7 වනදා

මැයි 30, 2022

    සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුව පවත්වාගෙන ගෙන යාමට නොහැකි යැයි මතුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝග ලබන මස 7 වන දා ප්‍රකාශයට පත් කෙරේ.



    2019 වසරේ ජනාධිපතිවරණය සමයේ කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන්වලින් පුද්ගලයින් පහර පැහැරගෙන යාම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කොට එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධව මෙම නඩුව පවරා තිබේ.

    ඒ සම්බන්ධයෙන් විත්තිකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මතුකළ මූලික විරෝධතාව පිළිබඳ නියෝගය ලබන මස 7 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

    කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී එහි පළමුවන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට කරුණු ඉදිරිපත් කර තිබුණා.

    එම මූලික විරෝධතාවය තුළින් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෙම අපරාධයට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති නිසාත් ඔහු පොලීසියට ප්‍රකාශයක් ලබාදී නොමැති නිසාත් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවයි.

    මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් අද සිය ප්‍රතිචාරය ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විත්තිය විසින් ඉදිරිපත් කරන මූලික විරෝධතාව පදනම් විරහිත බව සඳහන් කළා.

    2019 වසරේ ජනාධිපතිවරණයට දින 06 කට පෙර විත්තිකාර රාජිත සේනාරත්න ඇමතිවරයා මෙම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනා ද දෙපස තබාගෙන මාධ්‍ය සාකච්චාවක් පවත්වා තිබෙන බව ඔහු සඳහන් කළා.

    එවක ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ අවධියේ යුද හමුදාව යොදා පුද්ගලයින් පැහැරගෙන ගොස් මරා දැමූ බවට අසත්‍ය තොරතුරු සමාජ ගත කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

    ඉන් පසුව මෙම මාධ්‍ය සාකච්චාව සහභාගී වූ අතුල සංජීව මදනායක සහ සකල වල්ලි ආරච්චිගේ සරත් කුමාර යන අය තමන් විසින් ප්‍රකාශ කළ කරුණු අසත්‍ය බව පොලිසිය වෙත ප්‍රකාශයක් කළ බව ඔහු පෙන්වා දුන්නා.

    මෙම අසත්‍ය චෝදනා අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කිරීම වෙනුවෙන් විත්තිකාර අමාත්‍යවරයා තමන්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දුන් බවත් තමන්ව විදේශයක නිවාස ලබාදී පදිංචි කරවන බවට විත්තිකාර හිටපු අමාත්‍යවරයා සාක්ෂිකරුවන් දෙදෙනාට පොරොන්දු වී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති හෙයින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් මතුකරනු ලබන මූලික විරෝධතාව පිළිගත් නොහැකි බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරනය කළා.

    එබැවින් මෙම මූලික විරෝධතාවය නෛතික පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති හෙයින් එය ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගන්නා ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඉන් අනතුරුව විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමා කණගාටු වන බව සඳහන් කළා.

    එම ප්‍රකාශය තුළින් නීතිපති දෙපාර්තමේන්තුව අද වැටී තිබෙන තත්වය මනාව වටහා ගත හැකි බවත් මෙවැනි ක්‍රියා තුළින් මහජනතාවට නීතිය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙන බවද ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

    මාධ්‍ය සාකච්ඡාවල දී පළකරනු ලබන අසත්‍ය කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයා නඩු පැවරීමට ගියහොත් ඔහුට වෙනත් කටයුතු සිදු කිරීමට කාලයක් නොලැබෙනු ඇතැයි ද ඔහු සදහන් කළා.

    මෙම මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවා පැමිණිල්ලක් කර නොමැති අවස්ථාවක සිංහලේ සංවිධානය විසින් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කළ කරුණු අසත්‍ය යැයි සිංහලේ සංවිධානය කියන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා.

    අනතුරුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විසින් මතු කරනු ලබන මූලික විරෝධතාවය පිළිබඳ නියෝගය බන 7 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළා.

    2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම , ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ ජනාධිපතිවරණ පනත යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News