හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහි අල්ලස් නඩුව කල්යයි

මාර් 30, 2022

    අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් මැයි මස 11 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරුවරයා නියෝග කළේ එම නඩුව යළි මැයි මස 11 වනදා කැඳවන ලෙස යි.

    පැමිණිල්ල විසින් ලබාදිය යුතු ලේඛන නිසි පරිදි ලැබී තිබේදැයි මීළඟ දින අධිකරණය දැනුවත් කරන ලෙස මෙහිදී විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

    එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබෙනවා.

    2014 වසරේ අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළ යැයි චෝදනාකොට එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.

    මෙම ක්‍රියාව තුළින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සඳහන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවයි මෙම අධිචෝදනා පත්‍රය තුළින් සඳහන් කර තිබෙන්නේ.

    මෙම අධි චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන 55 ක් ද නම් කර තිබෙනවා.

    Latest News