එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අද

සැප් 12, 2022

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අද ආරම්භ වුණා.

    ඒ, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී. සැසිවාරයේ කටයුතු අද සිට ලබන මස 7 වැනිදා දක්වා පැවැත්වෙනවා. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ අමාත්‍ය අලි සබ්‍රි හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් එක් වනවා.

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් වත්මන් සැසිවාරයට ඉදිරිපත් කෙරෙනවා. අද සමාරම්භක දිනයේදී සාකච්ඡාවට ලක් වූයේ ශ්‍රී ලංකාව හා මියන්මාරය යන රටවල තත්වය පිළිබඳවයි.

    ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමට රජය කැපවී සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, ස්විට්සර්ලන්තයේ ජිනිවාහිදී අද ආරම්භ වූ‍ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අමතමින්. අමාත්‍ය අලි සබ්‍රි මහතා කියා සිටියේ, බාහිර හා අභ්‍යන්තර සාධක පදනම් කර ගනිමින් හටගත් ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව පීඩාවට පත්ව ඇති බවයි.

    එහිදී ජනතාවගේ පීඩනය රජය අවබෝධ කරගෙන ඇති අතර, ඊට සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව හා ව්‍යවස්ථානුකූලව විරෝධතා දැක්වීමට ජනතාවට ඇති අයිතිය රජය තහවුරු කර ඇති බවද විදේශ අමාත්‍යවරයා කියා සිටියා. එහෙත්, ‍රටේ නීතිය උල්ලංඝණය කිරීම් හා සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් විවිධ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සහ දරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවද විදේශ ඇමති අලි සබ්‍රි මහතා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ඇති 46/1 යෝජනාව රජය පිළි නොගන්නා බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළා. ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ විවිධ බලපෑම් නොව, විදෙස් රටවල සහය අවශ්‍ය බව අලි සබ්‍රි මහතා කියා සිටියා.

    සැසිවාරයට පෙරාතුව ඊයේ දිනයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙරට සම්බන්ධයෙන් ක්‍රියා කරන රටවල් කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වූවා. ශ්‍රී ලංකාව සඳහා තිරසර ප්‍රගතියක් අත් කර ගැනීමට අවශ්‍ය සහයෝගීතාව ගොඩනැංවීම සාකච්ඡාවල අරමුණයි. එමෙන්ම, ශ්‍රී ලංකා නියෝජිතයන් ඒකසත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ වැඩබලන මහ කොමසාරිස් නාදා අල් නෂිෆ් මහත්මිය සමග සති අන්තයේදී සාකච්ඡා පැවැත්වූවා.

    Latest News