සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වේ

ජූනි 07, 2022

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

    කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් එම තීන්දුව ලබා දුන්නා.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් වන ආකාරයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.

    එම නඩුව මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කරයේ අගතියට පත් පාර්ශවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක මෙවැනි නඩුවක් ගොනු කර පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතාවක් මතු කර තිබුණා.

    එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර නඩුව විභාගය සඳහා දින නියම කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පිරිස් මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

    එම මූලික විරෝධතාව පිළිබඳව අද සිය තීරණය ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ එය ප්‍රතික්ෂේප කරන බවයි.

    ඒ අනුව නඩු විභාගය ලබන 18 වනදා සිදු කරන බවත් විනිසුරු වරයා දින නියම කළා.

    Latest News