සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා නඩුව පවත්වාගෙන යා නොහැකි බවට මූලික විරෝධතාවක්

මාර් 15, 2022

    පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔවුන්ගේ නීතිඥවරු විසින් මතුකළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් මැයි මස 09 වන දා කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට නියම කළා.



    මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම සඳහා අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අදාළ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සකල වල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සාක්ෂිකරුවන් දෙදෙනාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණ ද එම සාක්ෂි කරුවන් දෙදෙනා නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

    ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින්ට අධිකරණය හමුවට නොපැමිණෙන ලෙස තර්ජනයක් එල්ල වී ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන්ට අධිකරණයට පැමිණිය නොහැකි බවට ඔවුන් විසින් තමන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

    මෙහිදී විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සාක්ෂි කරුවන් දෙදෙනාට තර්ජන එල්ල වන්නේ කුමන පාර්ශවයකින් දැයි විමසා සිටියා.

    ඊට පිළිතුරු දුන් නීතිඥවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට සාක්ෂිකරුවන් ගෙන් උපදෙස් ලැබී නොමැති බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම සාක්ෂි කරුවන් දෙදෙනාට අධිකරණය හමුවට පැමිණීම වැළැක්වීම සඳහා තර්ජනය එල්ල වන්නේ කවර පාර්ශවයකින් ද එම සාක්ෂිකරුවන්ගේ වටිනාකම කුමක්ද යන්න පිළිබඳව අධිකරණයට දැනුමක් නොමැති බවයි.

    එබැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එහෙත් මේ පිළිබඳව සොයා බලන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයාට නියෝග කළා.

    ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතාවක් මතු කර සිටියා.

    "ස්වාමීනි... මෙම නඩුව තුළින් විත්තිකරුවන්ට බොරු සාක්ෂි සෑදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන්ට චෝදනා 14 ක් එල්ල කර තිබෙනවා. ඒ අතුරින් චෝදනා 08 කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් කොට තිබෙනවා. මෙම නඩුවේ අගතියට පත් පාර්ශවය වශයෙන් සඳහන් වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. එහෙත් ඔහු මෙම නඩුවේ සාක්ෂි කරුවකු වශයෙන් නම් කර නැහැ. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු අසත්‍ය බවට ඔහු මේ දක්වා පැමිණිල්ලක් ඉදිරිපත් කරලත් නැහැ. පොලිසියට ප්‍රකාශයක් ලබා දීලත් නැහැ. මෙම මාධ්‍ය සාකච්ඡාව නිසා තමන්ට සිදු වූ අගතිය කුමක්ද යන්න ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණිලිකර ප්‍රකාශ කළ යුතුයි. එහෙම නැතුව මෙම නඩුව පවත්වාගෙන යන්න බැහැ. එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් පමණයි මෙම විත්තිකරුවන්ට එරෙහිව බොරු සාක්ෂි සෑදීම සම්බන්ධයෙන් චෝදනාවක් පවත්වාගෙන යාමට හැක්කේ. නඩු පැවරීමට පෙර නීතිපතිවරයා මෙම කරුණු සම්බන්ධයෙන් හොඳින් සොයා බැලීමට කටයුතු කළ යුතුයි. එසේ නොකොට නඩු පැවරීම ඛේදවාචකයක්."යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මෙම නඩුව පවරා පවත්වාගෙන යා නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම මූලික විරෝධතාව පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

    ඒ අනුව නඩුව මැයි මස 09 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් නීතිපති වරයාගේ ස්ථාවරය දැනුම් දෙන්නැයි නියෝග කළා.

    2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම , ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News