මන්ත්‍රීවරුන් පිරිසක් රජයේ අමාත්‍ය ධුර ලබා ගෙන ඇත්තේ, පක්ෂයේ අනුමැතියකින් තොරව බව, ශ්‍රී.ල.නි.ප. පවසයි...

සැප් 09, 2022

    මන්ත්‍රීවරුන් පිරිසක් රජයේ අමාත්‍ය ධුර ලබා ගෙන ඇත්තේ, පක්ෂයේ අනුමැතියකින් තොරව බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

    ඒ සම්බන්ධයෙන්, එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්. ජනතාව පත්ව ඇති දුක් පීඩාවලින් එම ජනතාව සහ රට ගොඩගැනීමේ සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සඳහා පමණක් සහය ලබා දෙන බවට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එකඟතාවට පැමිණ සිටියා. ඒ, පසුගිදා පැවති මධ්‍යම කාරක සභා තීරණයට අනුවයි.

    එසේ තිබියදී, රජයේ අමාත්‍ය ධුර බාර ගැනීම පෞද්ගලික ලාභ අපේක්ෂා පෙරදැරිව සිදු කරන ලද්දක් බව, නිදහස් පක්ෂ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙවැනි ක්‍රියා මගින් පැහැදිලි වන්නේ, සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් සඳහා ආණ්ඩුවට ද සැබෑ වුවමනාවක් නොමැති බවයි. රටේ ගැටලු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දරන බලාපොරොත්තු ද නොසලකා හැරීමයි. පක්ෂයේ අනුමැතියකින් තොරව අත්තනෝමතික ලෙස අමාත්‍ය ධුර බාර ගැනීමට මන්ත්‍රීවරු පිරිසක් ක්‍රියා කළ ද මාතෘ භූමිය සහ ජනතාවගේ උන්නතිය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ, ජයග්‍රහණයට කිසිදු බලපෑමක් නොවන බවද,  එම නිවේදනයේ සඳහන්.

    Latest News