සතොස, භාණ්ඩ වර්ග 7ක මිල අඩු කරයි...

සැප් 09, 2022

    අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අලෙවි කරන භාණ්ඩ වර්ග 7ක මිල අඩු කර තිබෙනවා.

    එහි සභාපති පසඳයාපා අබේ‍වර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටි‍යේ, සහල්, පරිප්පු සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කළ බවයි.

    මේ අනුව ලංකා සතොස මගින් අලෙවි කරන ආනයනික සුදු කැකුළු කිලෝග්රෑම් එකක මිල රුපියල් 10කින්ද ආනයනික සුදු නාඩු කිලෝග්රෑම් එකක මිල රුපියල් 4 කින්ද අඩු කෙරුණා. රතු පරිප්පු කිලෝග්රෑම් එකක් අඩු කර ඇත්තේ, රුපියල් 31කින්. වටානා පරිප්පු කිලෝග්රෑම් එකක් රුපියල් 50කින් අඩු කර තිබෙනවා. සුදු සීනි කිලෝග්රෑම් එකක් අඩුකර ඇත්තේ, රුපියල් 19කින් වන අතර, හාල්මැස්සන් කි‍ලෝග්රෑම් එකක් රුපියල් 25කින් සහ සුදු ළුණු කිලෝග්රෑම් එකක් රුපියල් 155කින් අඩු කර තිබෙනවා.  

    මේ අතර අඩු ආදායම්ලාභී වතුකරයේ ජනතාව ජීවත් වන ප්‍රදේශවල සතොස අලෙවිසැල් මගින් පාන් පිටි කි‍ලෝග්රෑම් එකක් රුපියල් 310කට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව ද සතොස සභාපති පසඳයාපා අබේවර්ධන මහතා කියා සිටියා.  දේශීය ටින් මාලු නිෂ්පාදන සතොස අලෙවි සැල්වලට මිලදී ගෙන, අලෙවි කිරීම සඳහා පියවර ගන්නා බව, වෙළෙඳ අමාත්‍යවරයා එම නිෂ්පාදකයින්ට පොරොන්දු වී තිබෙනවා.

    ඒ, ටින් මාලු නිෂ්පාදකයින්ගේ සංගමය සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී. මේ වන විට නිෂ්පාදනය කරනු ලබන ටින් මාලු අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුව ඇති බවයි, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, මේ නිසා එම සමාගම් සහ සේවකයන්ට සිය ව්‍යාපාරය කර ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව තිබුණා. ඒ අනුවයි, ‍වෙළඳ අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ. 

     

     

    Latest News