ශ්‍රීලනිප සභාපති ධුරයට අදාළව කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සැප් 02, 2022

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේ දී එම පක්ෂයේ සභාපති ධුරයට අදාළව සිදු කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉදිරිපත්වු පෙත්සමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම නියෝගය ලබා දුන්නා.

    අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින්.

    පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට අදාළව පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධන කීපයක් එක් කිරීමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී සූදානමක් පවතින බවයි.

    එමෙන්ම වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධුරයේ කටයුතු කිරීම "සුජාත කිරීම" සඳහා තවත් සංශෝධන කීපයක් එහි එක් කිරීමට නියමිත බවද අදාළ නීතිඥවරයා ප්‍රකාශ කළා.

    සිදු කිරීමට නියමිත එම සංශෝධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා එබැවින් ඒවා සිදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා එම ඉල්ලීමට දැඩි විරෝධය පළකර සිටියා.

    මෙවැනි ඉල්ලීමක් සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බවත් එය මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසත් මුස්තාෆා මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරිය පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළා.

    නඩූව නැවත ලබන 05 වනදා කැඳවීමට ද නියම වුණා.

    Latest News