පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් ඊයේ කොළඹ වරායට

අගෝ 12, 2022

    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රී 10.00 ට කොළඹ වරායට ළඟා වූ බව, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

    තෙල් ගොඩබෑම ආරම්භ කර ඇති අතර, කඩිනමින් ඒවා දිවයින පුරා බෙදාහරින බවයි, අමාත්‍යාංශය කියා සිටින්නේ.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ඛනිජ තෙල් ගබඩා කළ හැකි වැලිකන්ද ටැංකි සංකීර්ණය පසුගියදා නිරීක්ෂණය කළා. දැනට වසර 30 ක පමණ කාලයක සිට භාවිතයට නොගෙන අත්හැර දමා ඇති තෙල් ටැංකි සංකීර්ණය වැලිකන්ද දුම්රිය ස්ථානයේ පිහිටා තිබෙනවා. තෙල් ලීටර 54,000 බැගින් ගබඩා කළ හැකි ටැංකි 5 ක් ඊට ඇතුළත්. මෙම ටැංකි සංවර්ධනය කර මහවැලි බී කලාපයේ ගොවිජනතාවට අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි, අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

    ඒ අතර ජාතික ඉන්ධන බලපත්‍රය භාවිතය නිසා, දිවයිනපුරා ඉන්ධන පිරවුම්හල්වල තදබදයෙහි විශාල අඩුවක් දැක්නට ලැබෙන බව, අප වාර්තාකරුවන් පවසනවා.

    Latest News