“හරක් කටා” ඩුබායි හි දී අත්අඩංගුවට

අගෝ 12, 2022

    මෙරට මිනිස් ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් “හරක් කටා”, ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි, වාර්තා වනවා.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ජාත්‍යන්තර පොලිසිය ‍ඒකාබද්ධව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි, පැවසෙන්නේ.

    ඩුබායි අන්තර් ජාතික ගුවන්තොටුපොළේදී ඔහු අත්අඩංගුවට ගන්නා විට, තවත් කාන්තාවක් සමග මැලේසියාව වෙත යාමට සූදානම්ව සිට ඇති බව, වාර්තා වුණා. සැකකරුගේ ගමන් බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට සැකසූ එකක් බවයි, හෙළි වී ඇත්තේ. එම ගමන් බලපත්‍රය යොදා ගනිමින් ඩුබායි රාජ්‍යයේ සිට තවත් රටවල් කිහිපයකට සැකකරු වරින් වර ගමන් කොට ඇතැයි, පොලිස් ආරංචි මාර්ග පවසනවා. නඳුන් චින්තක හෙවත් හරක් කටා, අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවට එවන ලද මත්ද්‍රව්‍ය තොග, අත්අඩංගුවට ගැනීමට පොලිසිය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදු කළ වැටලීමකදී හැකියාව ලැබුණා. එසේම, මෙරට සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙහෙයවමින්, ඔහුට එරෙහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා අපරාධකරුවන් ඝාතනය කිරීමේ සිදු වීම් මාලාවකට ද හරක් කටා නමැති අපරාධකරු වගකිව යුතු බවයි, පොලිසිය පවසන්නේ.

    Latest News