රනිල්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලු පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ජූලි 19, 2022
    වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 
    ගාමිනී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.
    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සදහන් කළේ වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ  විරෝධතා පිළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි. 
    විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේය. 
    මෙම පෙත්සම ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුව මහ මැතිවරණයට තරඟ කර පරාජයට පත් වූ පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ නොහැකි බව  සඳහන් කළේය.
    ජාතික ලැයිස්තුව සදහා පත් කරන මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණය අවසන් වී සතියක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවයක් යැයි පෙන්වා දුන් නාගානන්ද කොඩිතුවක්කු මහතා එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවන ලද්දේ 2020 වසරේ මහ මැතිවරණය අවසන් වී මාස ගණනාවකට පසුව බවත් කියා සිටියේය.
    රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමේ තීරණය හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
    ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම වැඩබලන ජනාධිපති වශයෙන් පත් කිරීමේ තීරණය ද නීතියට පටහැණි බව ඔහු පෙන්වා දී තිබිණ. 
    රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු සත්‍ය කරුණු වසන් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇතැයි චෝදනා කළේය. 
    රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු මීට පෙරද පෙත්සමක් ගොනු කර තිබූ අතර එය ඉකුත් වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම කරුණ මෙම පෙත්සමේ සඳහන් කිරීම පෙත්සම්කරු විසින් වසන් කර ඇතැයි චෝදනා කළේය.
    ඒ අනුව මෙම පෙත්සම හරහා පෙත්සම්කරු කරුණු වසන් කිරීම හා සත්‍ය විකෘති කිරීම සිදු කොට ඇතැයි ද ඔහු චෝදනා කළේය.
    එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නේය. 
    සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ වග උත්තරකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි.
     
     

    Latest News